යෙසායා 20
20
ඊජිප්තුවට හා කූෂ්ට එරෙහිව
1අසිරියාවේ රජු වූ සාර්ගොන් විසින් යවනු ලැබූ සේනාධිනායකයා#20:1 සේනාධිනායකයා අසිරියානු බසින් තර්තාන්, අෂ්දෝද් නගරයට පහර දී එය අල්ලා ගත් අවුරුද්දේ, 2ස්වාමින්වහන්සේ ආමෝස්ගේ පුත් යෙසායා මගින් කතා කළ සේක. උන්වහන්සේ ඔහුට කතා කොට, “ඔබ ඇඟ ලා සිටින ගෝණි පඩංගුව හා ඔබේ පය ලා සිටින පාවහන් ඉවත් කරන්නැ” යි කී සේක. ඔහු එසේ කොට, නිර්වස්ත්‍ර ව, නිරාවරණ දෙපයින් ඇවිද්දේ ය.
3එවිට ස්වාමින්වහන්සේ කතා කළ සේක්, “මගේ මෙහෙකරු වූ යෙසායා නිරුවතින් හා නිරාවරණ දෙපයින් ඊජිප්තුවට හා කූෂ් දේශයට එරෙහිව ලකුණක් ද නිමිත්තක් ද වශයෙන් තුන් වසරක් ඇවිද්ද සේ, 4ඊජිප්තුවට නින්දා වන පිණිස, ඊජිප්තු වහල් සිරකරුවන් හා කූෂ් ජාතික පිටවහලුන් යන තරුණයෝ හා මහල්ලෝ, අසිරියානු රජු විසින් නිරුවත් ව හා නිරාවරණ දෙපයින් ඔවුන්ගේ තට්ටම් පෙනි, පෙනී ඉවත ගෙන යනු ලබති. 5කූෂ් තුළ විශ්වාසය තැබුවෝ හා ඊජිප්තුව ගැන පාරට්ටු කළෝ, තැති ගන්වනු ලැබ, ලජ්ජාවට පත් කරනු ලබති. 6ඒ දවසේ, මෙම මුහුදුබඩ වාසීන් කතා කොට, ‘බලන්න! අප බලාපොරොත්තු තැබූ අයට වූ දේ! අසිරියාවේ රජුගෙන් ගැලවෙන්නට පිහිට පතා අප පලා ගිය තැන අයට වූ දේ. දැන් අප ගැලවෙන්නේ කෙසේ දැ?’ යි” කියනු ඇත.
Currently Selected:
යෙසායා 20: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.