යෙසායා 16
16
1සෙලා සිට කාන්තාර මාර්ගයේ
සියොන් දියණියගේ කන්ද වෙත,
දේශයේ පාලකයාට
බැටළු පැටවා යවන්න.
2කැදැල්ලෙන් පන්නන ලදුව,
පලා යන කුරුල්ලන් යම් සේ ද
අර්ණොන් තොටුපොළවලදී
මෝවබ් දූවරුන් ද එලෙස ම ය.
3“උපදෙස් දෙන්න;
යුක්තිය ඉටු කරන්න.
මහ දහවලදී,
රැයේදී මෙන් ඔබේ සෙවණ සලසන්න.
පලා යන්නන් සඟවා ගන්න.
සරණාගතයින් හෙළි නො කරන්න.
4පලා එන මෝවබ්වරුනට ඔබ අතරේ සිටින්නට දෙන්න.
විනාශකයාගෙන් ඔවුනට රැකවරණය දෙන්න.”
පීඩකයා අවසානයට පැමිණි කල
විනාශය නැවතුණු කල
ආක්රමණිකයා දේශයෙන් පහ වී යනු ඇත.
5දයා පෙමින් යුතු ව, සිහසුනක් පිහිටුවනු ලැබේ.
විශ්වාසකමින් යුතු ව,
දාවිත්ගේ කූඩාරමේ කෙනෙක් එහි අසුන් ගනී.
යුක්තිය පසිඳලමින්, යුක්තිය සොයන ඔහු,
දමිටුකම ඉටු කිරීමට යුහුසුලු වෙයි.
6මෝවබ්ගේ අහංකාරය ගැනත්,
ඔහු කෙතරම් අහංකාර ද!
ඔහුගේ උඩඟුව, ඔහුගේ අහංකාරය හා ඔහුගේ මාන්නය ගැනත්, අප අසා ඇත.
එහෙත් ඔහුගේ හිස් පුරසාරම් කමකට නැත.
7එබැවින් මෝවබ් ගැන මෝවබ් ලතෝනි දෙත්වා.
හැම කෙනෙක් ම ලතෝනි දෙත්වා.
කීර්-හරෙසෙත්හි වියළි මිදි කේජු ගැන
තද විලාප දෙමින්, ලතෝනි දෙත්වා.
8හෙෂ්බෝන්හි කෙත්වත් මැලවෙයි.
සිබ්මාහි මිදි වැල් ද එසේ ම ය.
ජාතීන්ගේ පාලකයෝ
එහි අතු ඉති කපා දැමූහ.
ඒවා යාසේර් දක්වා විහිදී,
කාන්තාරයට ම පැතිරිණි.
එහි රිකිලි මුහුදින්
එතෙරට විහිදී යැවිණි.
9එබැවින් සිබ්මාහි මිදි වැල් ගැන
වැලපෙන යාසේර් වාසීන් සමඟ මම වැලපෙමි.
අහෝ හෙෂ්බෝන්! අහෝ එලෙයාලේ,
මම නුඹලා කඳුළින් පොඟවන්නෙමි.
ඔබේ ඉදුණු පලතුරු හා ඔබේ අස්වනු ගැන
නැගෙන ප්රීති ඝෝෂා නැවතී ඇත.
10පලදායි වතුවලින් සතුටත්, ප්රීතියත් ඉවත් කරනු ලැබ ඇත.
මිදි වතු තුළ ගී ගැයෙන්නේ නැත. සොම්නස් හඬ නැගෙන්නේ නැත.
මිදි මෝල්වල මිදි යුෂ පෙරෙන්නේ නැත.
මන්ද මම, එම ඝෝෂා නැවැත්වූයෙමි.
11මෝවබ් ගැන මගේ හදවතත්, කීර්-හෙරෙස්#16:11 කීර්-හෙරෙස් එනම් කීර්-හරෙසෙත් ගැන
මගේ සිත් ඇතුළාන්තයත් වීණාවක් මෙන් සෝ ගී නගයි.
12මෝවබ් තමන් ම පැමිණි කල,
උස් තැන පුදසුනදී ඔහු වෙහෙසට පත් වූ කල,
යාච්ඤා කරන්නට ඔහු තම සිද්ධස්ථානයට පැමිණි කල,
ඔහු ජය ගන්නේ නැත.
13මෝවබ් පිළිබඳව ස්වාමින්වහන්සේ දැනටමත් පවසා ඇති වචනය එයයි. 14එහෙත් දැන්, ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “කුලී කම්කරුවකුගේ අවුරුදු ගණනට අනුව, අවුරුදු තුනකින් මෝවබ්ගේ තේජසත් එහි ඉතා අධික මුළු මහ සමූහයාත් අවමානයට පත් වේ. නො මැරී එහි ඉතිරි වනු ඇත්තේ දුබල ස්වල්ප දෙනෙකි.”
Currently Selected:
යෙසායා 16: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.