YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 3

3
මෝසෙස්ට වඩා උතුම් වූ යේසුස්වහන්සේ
1එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න. 2දෙවියන්වහන්සේගේ මුළු ගෘහයට මෝසෙස් විශ්වාසී ව සිටි සේ, මුන්වහන්සේ ද තමා පත් කළ තැනැන්වහන්සේට විශ්වාසී වූ සේක. 3ගෘහයට වඩා එම ගෘහය ඉදිකරන්නා ගෞරවය ලැබිය යුතු සේ, යේසුස්වහන්සේ ද මෝසෙස්ට වඩා බොහෝ ගෞරව ලබන්නට වටින බවට පිළිගනු ලැබේ. 4මන්ද හැම ගෘහයක් ම ගොඩ නගනු ලබන්නේ යමකු විසිනි. එහෙත් හැම දෙයක් ම ගොඩ නගන්නා දෙවියන්වහන්සේ ය. 5මතු කල පවසන දෑ ගැන සාක්ෂි දරමින්, මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයකු මෙන් විශ්වාසවන්ත වූයේ ය.#3:5 ගණන් 12;7 6එහෙත් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පුත්‍රයකු සේ විශ්වාසී වූ සේක. අපගේ විශ්වාසය හා අප උදම් අනන බලාපොරොත්තුව තදින් අල්ලාගෙන සිටින්නෙමු නම්, උන්වහන්සේගේ ගෘහය අප ය.
අවිශ්වාසය ගැන අනතුරු ඇඟවීම
7එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන පරිදි:
“අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්,
8පාළුකරයේ පරීක්ෂා දවසේ,
කැරැල්ලේදී වූවාක් මෙන්,
ඔබේ හදවත් දැඩි කර නො ගන්න.
9එහිදී ඔබේ පියවරු මා පරීක්ෂා කරමින්,
මා සෝදිසි කර, මා කළ ක්‍රියා, හතළිස් වසරක් ම දුටුවහ.
10එබැවින් ඒ පරපුර සමඟ කෝප ව, මම මෙසේ කීවෙමි:
‘හදවත්වලින් ඔවුහු හැම විට මුළාව යන්නෝ ය,
මගේ මාර්ග, ඔවුන් හැඳින ගත්තේ නැත.’
11මගේ උදහසින් මා දිවුරූ ලෙස,
‘මගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැත.’ ”#3:11 ගීතා 95:7-11
12සහෝදරයිනි, ජීවමාන දෙවියන්වහන්සේ වෙතින් ඉවත හැරෙන දුෂ්ට, නො ඇදහිලිකාර හදවතක් ඔබ කිසිවකුට නො තිබෙන ලෙසට වග බලා ගන්න. 13ඔබ කිසිවකු පාප මායාවෙන් දැඩි නො වන පිණිස, දවස්පතා “අද ය” කියන තාක්, එකිනෙකා ධෛර්යවත් කරන්න. 14මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු. 15කියා ඇති පරිදි මෙසේ ය:
“අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්,
කැරැල්ලේදී ක්‍රියා කළ සේ,
ඔබේ හදවත් දැඩි කර නො ගන්න.”#3:15 ගීතා 95:7,8
16මන්ද අසා, කැරලි ගැසුවෝ කවරහු ද? ඔවුහු මෝසෙස්ගේ මග පෙන්වීම යටතේ ඊජිප්තුවෙන් නික්ම ආ සියල්ලෝ නො වෙත් ද? 17හතළිස් වසරක් පුරා උන්වහන්සේ කෝප වූයේ කවුරුන් සමඟ ද? පව් කොට, පාළුකරයේ වැටී, මළ කඳන් බවට පත්වූවන් සමඟ නො වේ ද? 18තමන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැතැයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූවන්ට මිස වෙන කවුරුන්ට ද? 19එබැවින් එහි පිවිසීමට ඔවුන්ට නො හැකි වූයේ නො ඇදහිල්ල නිසා බැව් අපට පෙනේ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in