YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 10

10
සියල්ලන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ එක ම යාගය
1ව්‍යවස්ථාව, මතු පැමිණෙන හොඳ දේවල ඡායාවක් මිස, ඒවායේ යථා තත්වය නො වන බැවින්, වසරක් පාසා යළි යළිත් ඔප්පු කරන එක ම විදියේ පූජාවලින්, ළඟාවන්නන් සම්පූර්ණත්වයට ගෙන ඒමට ඊට කොහෙත් ම නුපුළුවන. 2කළ හැකි වී නම්, එම පූජා ඔප්පු කිරීම නවතා දැමිය යුතු ව තිබුණා නො වේ ද? මන්ද නමස්කාර කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබුවා නම්, පාප ගැන හැඟීමක් තවත් නැත. 3එහෙත් එම යාග පූජාවලින් කරනුයේ අවුරුදු පතා පාප සිහි කරවීමකි. 4මන්ද ගවයින්ගේ හා එළුවන්ගේ ලේවලින් පාප දුරු කරලීම කොහෙත් ම කළ නො හැක්කකි.
5එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එන කල, උන්වහන්සේ මෙසේ පැවසූ සේක:
යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක.
ඔබ මට ශරීරයක් සූදානම් කළ සේක;
6දවන පූජා හා පාප පූජා,
ඔබට ප්‍රසන්න වූයේ නැත.
7එබැවින්, මම මෙසේ කීවෙමි: “පොතේ මා ගැන ලියවී ඇති ලෙස,
අහෝ දෙවියන්වහන්ස, මෙන්න මම, ඔබගේ කැමැත්ත කරන්නට ඇවිත් සිටිමි.”#10:7 ගීතා 40:6-8
8උන්වහන්සේ කතා කොට, “යාග හා පඬුරුවලට ද දවන පූජා හා පාප පූජාවලට ද ඔබ ආශා වූයේ නැත; ඔබට ඒවා ප්‍රසන්න වූයේ ද නැතැ” යි (මේවා ඔප්පු කරන්නේ ව්‍යවස්ථාවට අනුව ය) පවසා, 9පසුව, “මෙන්න! ඔබගේ කැමැත්ත කරන්නට මම ඇවිත් සිටිමි” යි පැවසූ සේක. මෙසේ උන්වහන්සේ දෙවැන්න ස්ථාපිත කරන පිණිස පළමුවැන්න අවලංගු කරන සේක. 10එම කැමැත්ත අනුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සදහට එක් වරක් පමණක් පූජා කරනු ලැබීමෙන්, අපි පවිත්‍ර කරනු ලැබ සිටිමු.
11අනෙක් හැම පූජකයෙක් ම, පාප දුරු කළ නො හැකි එක ම විදියේ යාග පූජා යළි යළිත් ඔප්පු කරමින්, තම මෙහෙවරට දිනපතා සිටගනියි. 12එහෙත්, පාප උදෙසා සදහට ම එක් යාගයක් පිදූ මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක. 13එතැන් පටන්, තම සතුරන් තම පාදවලට යටත් කරනු ලබන තෙක්, උන්වහන්සේ බලා සිටින සේක. 14මන්ද පවිත්‍රත්වයට පමුණුවනු ලබන්නවුන්, ඒ එක ම පූජාවෙන් උන්වහන්සේ හැම කාලයකට ම සම්පූර්ණත්වයට පත් කළ සේක.
15ශුද්ධාත්මයාණන්වහන්සේත් ඒ ගැන අපට සාක්ෂි දෙමින් පළමු කොට මෙසේ කියන සේක:
16“ඒ දවස්වලට පසු, මා ඔවුන් සමඟ කරන ගිවිසුම මෙන්න මේ යයි,
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක;
මම, මගේ ආඥා ඔවුන්ගේ හදවත්හි තබා,
ඔවුන්ගේ මනස්හි ඒවා ලියන්නෙමි.”#10:16 යෙරමි 31;33
17උන්වහන්සේ මෙසේ ද කියන සේක:
“ඔවුන්ගේ පව් හා ඔවුන්ගේ නොපනත්කම්,
මම තවත් සිහි නො කරන්නෙමි.”#10:17 යෙරමි 31;34
18මේවාට කමාව ඇත්තේ කොතැන ද, එතැන පාප උදෙසා යාග පූජාවල අවැසිතාවක් ද නැත.
ඇදහිල්ලේ සහතිකය
19එබැවින් සහෝදරයිනි, යේසුස්වහන්සේගේ ලේ මගින් ශුද්ධස්ථානයනට ඇතුළු වීමේ සහතිකය අපට තිබෙන බැවින්, 20ස්වකීය ශරීරය නැමති තිරය මැදින් ඇතුළු වීමේ අලුත්, ජීවමාන මාර්ගයක් අපට විවෘත කර දුන් බැවින් 21හා දෙවියන්වහන්සේගේ ගෘහයට අදාළ ශ්‍රේෂ්ඨ පූජකයාණන් කෙනකු අපට සිටින බැවින්, 22ඉසිනු ලැබීමෙන් අප හදවත් වරදකාර හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබ, අප සිරුරු පිරිසිදු දියෙන් සෝදනු ලැබ, ඇදහිල්ලේ පූර්ණ විශ්වාසයෙන් යුතු අවංක හදවතින් ළඟා වෙමු. 23පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වසනීය බැවින්, අප ප්‍රකාශ කරන බලාපොරොත්තුව නො සැලී, බදා අල්ලා ගනිමු. 24තවද ප්‍රේමයට හා හොඳ වැඩට එකිනෙකා පොලඹවන්නේ කෙසේදැයි සිතා බලමු; 25ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළං ව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු.
26සත්‍යය අවබෝධය ලද පසුත්, අප දැන දැන ම පව් කරනවා නම්, පාප උදෙසා යාගයක් තවත් ඉතිරි ව නැත; 27ඇත්තේ විනිශ්චය ගැනත්, සතුරන් දවා දමන උදහස් ගින්න ගැනත් බියජනක බලාහිඳීමක් පමණි. 28මෝසෙස්ගේ නීතිය ප්‍රතික්ෂේප කරන කවරකු වුව, දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි මත දයාවක් නො ලබා මරණයට පත් කරනු ලබයි. 29ඒ එසේ නම්, ඔබ සිතන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගා දැමුවාවූත්, තමන් පවිත්‍ර කරන ලද ගිවිසුමේ ලේ අශුද්ධ සේ සැලකුවාවූත්, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට නිග්‍රහ කළාවූත් අය කොතරම් බරපතළ දඬුවමකට නියම වෙතැයි කියා ද? 30මන්ද, “පළි ගැනීම මගේ ය; මම ප්‍රතිවිපාක දෙන්නෙමි”#10:30 ද්වි 32:35 යි ද යළිත්, “ස්වාමින්වහන්සේ තම ජනයා විනිශ්චය කරන සේකැ”#10:30 ද්වි 32:36; ගීතා 135;14 යි ද පැවසූ තැනැන්වහන්සේ කවුරුදැයි අපි දනිමු. 31ජීවමාන දෙවියන්වහන්සේගේ හස්තයට හසුවීම භයංකර ය.
32ඔබ ආලෝකවත් කරනු ලැබූ අලුත, පීඩා හමුවේ දැඩි පරිශ්‍රමයක් ඉසිලූ, ඒ පළමු දවස් සිහි කරන්න. 33ඒ, විටෙක ප්‍රසිද්ධියේ නින්දා හා හිංසාවනට ලක්වෙමින් හා විටෙක එම හිංසාවලට ලක්වූවන්ගේ හවුල්කරුවන් වෙමිනි. 34සිරගත කරනු ලැබූවන්ට ඔබ අනුකම්පාවෙන් සැලකූ අතර ඔබේ දේපළ කොල්ල කෑ කල, සතුටු සිතින් එය බාර ගත්තේ, වඩා හොඳ හා පවතින හිමිකමක් ඔබට ඇති වග දැනගෙන ය. 35එබැවින් විශිෂ්ට ත්‍යාග දීමනාවක් හිමි ඔබගේ ඒ විශ්වාසය ඉවත නො දමන්න.
36මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු, පොරොන්දු වූ දෑ ලබන පිණිස, ඉවසා දරා සිටීම ඔබට අවශ්‍ය ය. 37මන්ද,
“එන්නට සිටින තැනැත්තාණන්,
තව ස්වල්ප කලකින් එනු ඇත;
උන්වහන්සේ පමා වන්නේ නැත.”#10:37 යෙසා 26;20; හබක් 2;3
38තවද,
“මගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ;
ඔහු හැකිළී පසුබට වේ නම්,
ඔහු තුළ මගේ ජීවය ප්‍රසන්න වන්නේ නැත.”#10:38 හබක් 2:3,4
39එහෙත් අප අයිති, හැකිළී පසුබට වී, විනාශ වන්නන්ට නො ව, අදහා ගැලවීම ලබන්නන්ට ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in