උත්පත්ති 8:15-22
උත්පත්ති 8:15-22 SCV
ඉන්පසු දෙවියන්වහන්සේ නෝවා අමතා මෙසේ කී සේක: “ඔබත්, ඔබේ භාර්යාවත්, ඔබේ පුතුන් හා ඔබේ පුතුන්ගේ භාර්යාවනුත් නැවෙන් පිටතට එන්න. ඔබ සමඟ සිටින හැම වර්ගයක ම ජීවමාන සතුන් වන පක්ෂීන් ද සිවුපාවුන් ද පොළොව පිට ඇදෙන සියලු උරගයින් ද පොළොවේ වැඩි වර්ධන වෙමින්, පොළොව පුරා සඵල ව බෝ වන පිණිස, ඔබ සමඟ උන් ද පිටතට ගෙනෙන්නැ” යි කී සේක. එවිට නෝවා තම පුතුන් ද තම භාර්යාව ද තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව පිටතට ආවේ ය. සියලු සත්තු ද සියලු උරගයෝ ද සියලු පක්ෂීහු ද යන පොළොවෙහි ගැවසෙන සියල්ලෝ එක් එක් වර්ගය බැගින් නැවෙන් පිටතට ආහ. ඉන්පසු ස්වාමින්වහන්සේට පූජාසනයක් තැනූ නෝවා, සියලු පවිත්‍ර සතුන්ගෙන් හා සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන් ගෙන, දවන යාග පූජාවක් ඒ මත ඔප්පු කළේ ය. එහි ප්‍රසන්න සුවඳ විඳි ස්වාමින්වහන්සේ තමන්වහන්සේට ම මෙසේ කී සේක. “යළි කවර කලෙකවත් මනුෂ්‍යයා නිසා භූමියට ශාප නො කරමි. බාල කාලයේ පටන් ඔහුගේ හදේ හැම සිතිවිල්ලක් ම නපුර ය. වරක් මා කළ පරිද්දෙන් මතු කවර කලෙකවත් ජීවමාන සකල සත්වයින් මම විනාශ නො කරන්නෙමි. “පොළොව පවතින තුරා, වැපිරීම හා අස්වනු නෙළීම ද සිසිලස හා උණුසුම ද සිසිරය හා ගිම්හානය ද දහවල හා රාත්‍රිය ද නවතිනු නැත්තේම ය.”





