YouVersion Logo
Search Icon

උත්පත්ති 7:1-19

උත්පත්ති 7:1-19 SCV

ස්වාමින්වහන්සේ ඉන්පසු නෝවා ඇමතූ සේක්, “ඔබත්, ඔබේ මුළු පවුලත් නැවට ඇතුළු වන්න. මන්ද මේ පරපුරේ ඔබ පමණක් ධර්මිෂ්ඨ වග මම දුටිමි. හැම වර්ගයක ම පවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩු හත බැගින් ද අපවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩුවක් බැගින් ද හැම වර්ගයක ම පක්ෂීන්ගෙන් කුරුල්ලකු හා උගේ කිරිල්ල යන වශයෙන් කුරුලු ජෝඩු හත බැගින් ද ඒ ඒ සත්ව වර්ග පොළෝ තලේ නො නැසී පැවැත්ම සඳහා ඔබ කැටිව ගෙන යන්න. තව හත් දවසකින් දහවල හතළිහක් හා රෑ හතළිහක් එක දිගට පොළොව පිට වැසි වස්සන්නෙමි. එසේ මා විසින් සාදන ලද හැම සජීවී සතකු ම පොළෝ තලයෙන් තුරන් කර දමන්නෙමි” යි පැවසූ සේක. නෝවා, ස්වාමින්වහන්සේ තමාට අණ කළ සියල්ල කළේ ය. පොළොව මතට ජලගැල්ම පැමිණෙන විට නෝවාගේ වයස අවුරුදු හයසියයක් විය. ජලගැල්මෙන් බේරෙනු පිණිස, නෝවා තම පුතුන් ද තම භාර්යාව හා තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව නැවට ඇතුළු වූයේ ය. පවිත්‍ර සහ අපවිත්‍ර සතුන් ද පක්ෂීන් හා බිම බඩ ගා යන සියලු උරගයින් ද ජෝඩු වශයෙන්, එනම් පිරිමි සතකු හා ගැහැනු සතකු වශයෙන් නෝවා වෙත නැවට ඇතුළු වූයේ, දෙවියන්වහන්සේ නෝවාට අණ කර තිබූ පරිද්දෙනි. හත් දවසකට පසු, ජලගැල්ම පොළොව පිටට පැමිණියේ ය. නෝවාගේ ජීවිතයේ හයසිය වන අවුරුද්දේ දෙවන මාසයේ, දහහත් වන දිනදී ම භූ පත්ලේ සියලු ජල උල්පත් පුපුරා ඇරිණි; අහසේ ජල දොරවල් ද විවර කෙරිණි. මහ වරුසාව දහවල හතළිහක් හා රෑ හතළිහක් නොකඩවා පොළොව පිට ඇද හැලිණි. ඒ දවසේදී ම නෝවා සහ ඔහුගේ පුතුන් තිදෙනා වන ෂේම්, හාම් හා යාෆෙත් ද ඔවුන් සමඟ නෝවාගේ භාර්යාව හා ඔහුගේ පුතුන්ගේ භාර්යාවන් තිදෙනා ද නැවට ඇතුළු වූහ. ඔවුන් සමඟ ඒ ඒ හැම වර්ගවල වන සත්තු ද ඒ ඒ හැම වර්ගවල සියලු ගව-මහීෂාදී සත්තු ද පොළොව පිට ඇදෙන ඒ ඒ වර්ගවල උරග හා හැම වර්ගයක ම පක්ෂීහු ද ඉගිළෙන සියලු සත්ව විශේෂ ද වූහ. ජීවන හුස්ම ඇති සියලු සත්වයෝ යුගල බැගින් නෝවා වෙත අවුත් නැවට ඇතුළු වූහ. මෙසේ, සජීවී සතුන් පිරිමි සතකු හා ගැහැනු සතකු බැගින් නැවට ඇතුළු වූයේ, දෙවියන්වහන්සේ නෝවාට අණ කර තිබූ පරිද්දෙනි. ඔහු එහි ඇතුළු කොට, ස්වාමින්වහන්සේ නැවේ දොර වැසූ සේක. ජලගැල්ම දවස් හතළිහක් පුරා පොළොවේ පැවතිණ. ජල කඳ නැගෙත් ම, නැව ද පොළොවෙන් උඩට එසවිණ. ජලය බෙහෙවින් නැගි නැගී වැඩි වෙත් ම, නැව ජල මතු පිට පා විණි. මිහි මත වඩ වඩා නැගී ආ මහ ජල කඳ, අහසින් යට තිබූ උස් කඳු සියල්ල යට කර දැමී ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 7:1-19