YouVersion Logo
Search Icon

උත්පත්ති 1:1-10

උත්පත්ති 1:1-10 SCV

මූලාරම්භයේදී දෙවියන්වහන්සේ අහස් හා පොළොව මැවූ සේක. පොළොව අරූපී ව, ශූන්‍ය ව තිබිණි. ගැඹුර මතු පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ ජලය මතු පිට හැසිරෙමින් සිටි සේක. දෙවියන්වහන්සේ, “ආලෝකය වනු” යි කී සේක; එවිට ආලෝකය විය. ආලෝකය, හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කළ සේක. දෙවියන්වහන්සේ ආලෝකය, දහවල යනුවෙන් ද අන්ධකාරය, රාත්‍රිය යනුවෙන් ද හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ පළමු දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය ජලයෙන් වෙන් වන පිණිස, ජල මැදින් අවකාශයක් වේවා!” යි කී සේක. මෙසේ දෙවියන්වහන්සේ අවකාශය නිමවා, අවකාශයට ඉහළින් වූ ජලය, ඊට පහළින් වූ ජලයෙන් වෙන් කළ සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ අවකාශය, අහස යැයි හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ දෙවන දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “අහසින් යට ජලය එක් තැනකට එක් රැස්වනු; ගොඩ බිම මතු වනු” යි කී සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ ගොඩ බිම, පොළොව යනුවෙන් ද රැස් වූ ජලය, සයුර යනුවෙන් ද හැඳින් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක.