YouVersion Logo
Search Icon

ගලාති 4

4
1මා කියන්නේ මෙයයි; උරුමකරු, මුළු බූදලයට හිමිකරු වුව ද, බාල වයස්කරුවකු ව සිටින තාක්, ඔහු දාසයකුට වඩා වෙනස් නො වෙයි. 2ඔහුගේ පියා නියම කළ කාලය තෙක් ඔහු භාරකරුවනට හා ඇපකරුවනට යටත් ය. 3එසේ ම අපත්, බාලයන් ව සිටියදී ලෝක ධර්මතාවනට වහල් ව සිටියෙමු. 4එහෙත් කල් පිරුණු කල, ව්‍යවස්ථාව යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ, 5අප, පුත්‍රකම ලබන පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නවුන් මුදා ගැනීමට ය. 6ඔබ පුත්‍රයින් නිසා දෙවියන්වහන්සේ, “අබ්බා පියාණෙනි” යි හඬ ගසන ස්වකීය පුත්‍රයාණන්ගේ ආත්මයාණන් අප හදවත්වලට එවූ සේක. 7එබැවින් තවදුරටත් ඔබ දාසයකු නො වේ; පුත්‍රයෙක් ම ය. පුත්‍රයකු නම්, දෙවියන්වහන්සේගේ ක්‍රියාවෙන් උරුමකරුවෙකි.
ගලාතිවරුන් පිළිබඳ පාවුල්ගේ කනස්සල්ල
8ඉහත, දෙවියන්වහන්සේ නෑඳින සිටි කල, ස්වභාවයෙන් දෙවිවරුන් නො වන්නවුන්ට ඔබ වහල් ව සිටියහ. 9එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේ හැඳින සිටියදීත්, ඊටත් වඩා දෙවියන්වහන්සේ විසින් ඔබ හැඳින ගනු ලැබ සිටියදීත් ඒ දුබල, නො වටිනා ලෝක ධර්මතා වෙත ආපසු හැරී යන්නේ කෙසේ ද? යළි ඒවායේ වහලුන් වීමට ඔබට ඕනෑ ද? 10ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු සලකති. 11ඔබ උදෙසා මා දැරූ වෙහෙස අපතේ යාදෝයි මට බයක් ඇත.
12සහෝදරයිනි, මා වගේ වන්නැයි මම ඔබට ආයාචනා කරමි. මන්ද මම ඔබ වගේ වූයෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත. 13ඔබ දන්නා පරිදි, මුල් වරට මා ඔබට ශුභාරංචිය දේශනා කළේ, මගේ කායික ආබාධයක් තිබියදී ය. 14මගේ රෝගය ඔබට පරීක්ෂාවක් වුවත්, ඔබ මා පිළිකුල් කළේවත්, අවඥාවට ලක් කළේවත් නැත. සැබෑවට ඔබ මා පිළිගත්තේ දෙවියන්වහන්සේගේ දූතයකු පරිද්දෙනි; ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පරිද්දෙනි. 15ඒ සොම්නසට මොකද වුණේ? කළ හැකි විණි නම්, ඔබගේ ඇස් වුව උගුලා මට දෙන්නට තරම් ඔබ ලෙන්ගතුව සිටි වග මට සහතික ය. 16ඔබට ඇත්ත කීමෙන් දැන් මා ඔබට සතුරකු වෙලා ද?
17ඔබ දිනා ගන්නට ඔවුන් උද්යෝගී වන්නේ හොඳ අරමුණකින් නො වේ. ඔවුන්ට වුවමනා ඔබ අහක් කර ගෙන, ඔබගේ උද්යෝගය ඔවුන් වෙත යොමු කරවා ගැනීමයි. 18මා ඔබ සමඟ සිටියදී පමණක් නො ව අන් හැම විටත්, හොඳ අරමුණකට හැම විට උද්යෝගී වීම හොඳ ය. 19මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි. 20හැකි නම් මෙවෙලේ ඔබ ළඟ සිට, මගේ කතා විලාසය වෙනස් කර ගැනීමට කැමැත්තෙමි. ඇත්තෙන් ම ඔබ ගැන මගේ සිත වියවුල් වී තිබේ.
හාගර් හා සාරා
21මට මෙය කියන්න, ව්‍යවස්ථාව යටතේ සිටින්නට ආශා ඔබ, ව්‍යවස්ථාවට කන් දෙන්නේ නැද්ද? 22මන්ද ආබ්‍රහම්ට පුතුන් දෙදෙනකු සිටි වග ලියා තිබේ; කෙනෙක් වහල් ළඳගෙනි; අනෙක් කෙනා නිවහල් ළඳගෙනි. 23එහෙත් වහලියගෙන් ලද පුත්‍රයා උපන්නේ මාංසයට අනුව ය; නිවහල් ළඳගෙන් ලද පුත්‍රයා උපන්නේ පොරොන්දුව මගිනි.
24මෙය උපමාවකට ගත හැකි ය: මේ ළඳුන් දෙදෙනා ගිවිසුම් දෙකකි; ඉන් එකක් වහල්කමට දරුවන් බිහි කරන සීනයි කන්දෙනි: ඒ හාගර් ය. 25හාගර් අරාබියේ සීනයි කන්ද ය; ඈ වත්මන් යෙරුසලමට අනුරූපී ව, ඇගේ දරුවන් සමඟ වහල්බවෙහි සිටින්නී ය. 26එහෙත් ස්වර්ගීක යෙරුසලම නිවහල් ය; ඈ අපගේ මාතාවයි. 27මන්ද මෙසේ ලියවී තිබේ:
“ඔහෝ, ප්‍රීති වන්න,
දරුවන් නො දැරූ වඳ තැනැත්තිය,
ප්‍රසව වේදනා නො විඳි තැනැත්තිය,
සතුටින් මොර හඬ නගන්න;
මන්ද ස්වාමි පුරුෂයකු ඇති තැනැත්තියට වඩා,
අතැර දමන ලද තැනැත්තියට දරුවන් බොහෝ වෙත.”#4:27 යෙසා 54;1
28සහෝදරයිනි, ඊසාක් මෙන් ඔබත් පොරොන්දුවේ දරුවන් ය. 29එකල, මාංසයට අනුව උපන් පුත්‍රයා, ආත්මයාණන්ට අනුව උපන් පුත්‍රයාට පීඩා කළ අයුරින් දැනුත් සිදු වේ. 30එහෙත් ශුද්ධ ලියවිල්ල කුමක් කියන්නේ ද? “දාසියත්, ඇගේ පුතාත් පලවා හරින්න. මන්ද දාසියගේ පුතා, නිවහල් ළඳගේ පුතා සමඟ උරුමය ලබන්නේ නැත”#4:30 උත් 21;10 යන්නයි. 31එබැවින් සහෝදරයිනි, අප දාසියගේ දරුවෝ නො ව, නිවහල් ළඳගේ දරුවෝ ය.

Currently Selected:

ගලාති 4: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in