YouVersion Logo
Search Icon

ගලාති 2

2
ප්‍රේරිතයින් හමුව
1අවුරුදු දාහතරකට පසු, මා යළිත් යෙරුසලමට ගියේ බාර්ණබස් සමඟ ය; තීතස් ද මා සමඟ ගෙන ගියෙමි. 2මා එහි ගියේ, එළිදරවුවකට අනුව ය. මා දුවමින් සිටියේත්, දිව්වේත් නිෂ්ඵල ව නො වන වග සහතික කර ගන්නා පිණිස, අන්‍ය-ජාතීන් අතර මා ප්‍රකාශ කළ ශුභාරංචිය, ප්‍රධානීන් සේ සැලකුණු අයට පෞද්ගලික ව පෙන්වා දුන්නෙමි. 3එහෙත් මා සමඟ සිටි තීතස් ග්‍රීකයකු වුව ද, ඔහු චර්මඡේද කළ යුතු ය යන බලකිරීමක් වූයේ නැත. 4ප්‍රශ්නය පැන නැගුණේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලා, වහලුන් බවට අප පැමිණවීමේ අරමුණින්, හොර රහසේ අප අතරට රිංගා ගත් ව්‍යාජ සහෝදරයින් හේතුවෙනි. 5එහෙත් ශුභාරංචියේ සත්‍යතාව ඔබ සමඟ රැඳී පවතින පිණිස එක් පැයකටවත් අප ඔවුනට යටත් වී ඉඩ දුන්නේ නැත.
6ප්‍රධානීන් සේ සැලකුණු අය, (ඔවුන් කවර තත්වයක් දැරුව ද මට එහි වෙනසක් නැත. දෙවියන්වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් තකන්නේ නැත.) ප්‍රධානීන් සේ සැලකුණා යයි මා කී අය මගේ පණිවුඩයට කිසිවක් එකතු කළේ නැත. 7අනෙක් අතට, චර්ම-ඡේදිතයන් උදෙසා වූ ශුභාරංචිය පේතෘස්ට පැවරුණු සේ ම, චර්මඡේද නො වූවනට ශුභාරංචිය දීම මට පවරා ඇති බැව් ඔවුහු දුටහ. 8මන්ද චර්මඡේද වූවන්ට අපෝස්තුලුවරයා වශයෙන් පේතෘස්ගේ සේවය තුළ ක්‍රියාකාරී වූ තැනැන්වහන්සේ, අන්‍ය-ජාතීන්ට මගේ සේවය තුළත් ක්‍රියාකාරී වූ සේක. 9මට දී තිබූ ඒ අනුග්‍රහය හැඳිනගත් කල, සභා කණු මෙන් සැලකෙන යාකොබ්, කේපස් හා යොහන් පංගුකාරකමේ දකුණත බාර්ණබස්ටත්, මටත් දුන්නේ, අප අන්‍ය-ජාතීන් වෙතත්, ඔවුන් චර්මඡේදිතයින් වෙතත් යා යුතු බවට එකඟ වෙමිනි. 10ඔවුන් ඉල්ලූ එක ම දේ දුප්පතුන් සිහි තබා ගන්නා ලෙසයි. කරන්නට මා ඉතා ආශා වූ දේ ද එයමයි.
පාවුල්, කේපස්ට කළ තරවටුව
11කේපස්, අන්තියෝකිය වෙත ආ කල, ඔහු වරද කර සිටියෙන්, මම ඔහුගේ මුහුණට ම විරෝධය පෑමි. 12මන්ද යාකොබ් වෙතින් කීප දෙනකු එන්නට කලින් අන්‍ය-ජාතිකයින් සමඟ එකට ආහාර ගත් ඔහු, ඔවුන් පැමිණි පසු පසුබා, අන්‍ය-ජාතිකයින්ගෙන් වෙන් ව සිටින්නට වූයේ අර චර්මඡේදිත කණ්ඩායමට බියෙනි. 13ඔහු සමඟ අනිකුත් යුදෙව්වරුන් ද කුහක ලෙස ක්‍රියා කළේ, බාර්ණබස් පවා ඔවුන්ගේ ඒ කුහකකමට ඇදී යන පරිද්දෙනි.
14මෙසේ ඔවුන් ශුභාරංචියේ සත්‍යතාවට අනුව ක්‍රියා නො කරන බැව් දුටු මම, ඔවුන් සියල්ලන් ඉදිරිපිට කේපස්ට මෙසේ කීවෙමි. “යුදෙව්වරයකු වෙලත් ඔබ ජීවත් වන්නේ යුදෙව්වරයකු ලෙස නො ව, අන්‍ය-ජාතිකයකු ලෙසයි. එසේ නම් යුදෙව්වරුන් ලෙස ජීවත්වන්නැයි අන්‍ය-ජාතීන්ට ඔබ බල කරන්නේ කොහොම ද?”
15උපතින් ම අප යුදෙව්වරුන් විනා, අන්‍ය-ජාතික පව්කරුවන් නො වේ; 16එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මගින් මිස, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිවකු නිර්දෝෂ කරනු නො ලබන බැව් අපි දනිමු. එබැවින් ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මගින් නිර්දෝෂ කරනු ලබන පිණිස, අපිත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ අදහා ගත්තෙමු. මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියා මගින් කිසිවකු ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ නැත.
17ක්‍රිස්තුස්වහන්සේ තුළ නිර්දෝෂ කරනු ලබන්නට සොයමින් අපත් පව්කරුවන් සේ පෙනේ ද? එසේ නම් ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් ද? සත්තකින් ම නැත! 18මන්ද මා විසින් බිඳ දැමූ දෑ, යළි මා ගොඩ නගනවා නම්, මා නීති කඩන්නකු වෙයි.
19“මන්ද ව්‍යවස්ථාව කරණකොටගෙන මා ව්‍යවස්ථාවට මැරුණේ දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය. 20ක්‍රිස්තුස්වහන්සේ සමඟ මම කුරුසිපත් කරනු ලදිමි. තවදුරටත් ජීවත් වන්නේ මා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත් වන සේක. දැන් මාංසයේ වෙසෙමින් මා ගෙවන මේ ජීවිතය මා ජීවත් වන්නේ, මට ප්‍රේම කළ, මා උදෙසා තමන් ම පූජා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ ඇදහිල්ලෙනි, 21දෙවියන්වහන්සේගේ අනුග්‍රහය මම නිෂ්ප්‍රභ නො කරමි. මන්ද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව මගින් ලද හැකි වී නම්, ක්‍රිස්තුස්වහන්සේ මැරුණේ නිකරුණේ ය!”

Currently Selected:

ගලාති 2: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in