එස්රා 4
4
ඉදිකිරීමේදී වූ විරෝධතා
1පිටුවහල් ව සිට ආපසු පැමිණියවුන් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මාලිගයක් ඉදිකරන වග යූදා හා බෙන්යමින් ජනයාගේ එදිරිවාදීන්ට අසන්නට ලැබුණ කල, 2ඔවුහු සෙරුබ්බාබෙල් ද පියවංශ ප්‍රධානීන් ද වෙත අවුත්, “ඔබ සමඟ ගොඩ නගන්නට අපටත් ඉඩ දෙන්න. මන්ද, ඔබ මෙන් ම අපත්, ඔබේ දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙමු. අප මෙහි ගෙනා අසිරියාවේ රජු වූ ඒසර්-හද්දොන්ගේ කාලයේ සිට ම අපි උන්වහන්සේට යාග පූජා ඔප්පු කරන්නෙමු” යි පැවසූහ.
3එහෙත් සෙරුබ්බාබෙල්, යේෂුවා හා සෙසු ඉශ්රායෙල් පියවංශ ප්‍රධානීහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අපේ දෙවියන්වහන්සේට ගෘහයක් ඉදිකිරීමේදී අප සමඟ කිසි හවුලක් ඔබට නැත. පර්සියාවේ රජු වූ කෝරෙෂ් රජු අපට කළ නියෝගය පරිදි, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උදෙසා එය ඉදි කරන්නේ අප පමණක් ම ය යැ” යි පැවසූහ.
4එවිට දේශයේ ජනයා යූදා ජනයා අධෛර්යට පත්කරවන්නටත්, ඉදිකිරීම් වළකමින් ඔවුන් භයගන්වන්නටත් පටන් ගත්හ. 5පර්සියාවේ රජු වූ කෝරෙෂ්ගේ මුළු පාලන කාලයේදී හා පර්සියාවේ රජු වූ දාරෙයාවෙෂ්ගේ#4:5 දාරෙයාවෙෂ්ගේ ග්‍රීක් දාරියුස් 24 වෙනි පදයේ ද එසේ ම ය. කාලය දක්වාත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන්නට හා ඔවුන්ගේ සැලසුම් කඩාකප්පල් කරන්නට ඔවුහු උපදේශකයින් අල්ලසට ගත්හ.
අර්තාෂස්තා රජු යටතේ ඇති වූ විරුද්ධවාදීකම්
6අහෂ්වේරොෂ්ගේ පාලන සමයේදී, ඔහුගේ පාලනයේ ආරම්භයේදී ඔවුහු යූදා හා යෙරුසලම් වාසීන්ට එරෙහි පැමිණිල්ලක් ලියූහ.
7අර්තාෂස්තාගේ දවස්වලදී බිෂ්ලාම්, මිත්රෙදාත්, ටොබෙයෙල් හා ඔහුගේ හවුල්කරුවන් අර්තාෂස්තා රජුට ලිපියක් එවී ය. එම ලිපිය අරාමීය අකුරින්, අරාමීය බසින් ලියන ලදී.
8අණ දෙන නිලධාරී#4:8 4:8–6:18 දක්වා මුල් ලියවිල්ල අරාමීය බසිනි. රෙහූම් හා ලේකම් ෂිම්ෂයි යෙරුසලමට එරෙහිව අර්තාෂස්තා රජුට ලිපියක් මෙසේ ලියූහ:
9අණ දෙන නිලධාරී රෙහූම් හා ලේකම් ෂිම්ෂයි සමඟ ඔවුන්ගේ සෙසු හවුල්කරුවන් වන විනිශ්චයකරුවන්, ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය නිලධාරීන්, පර්සියානුවන්, එරෙක් වාසීන්, බබිලෝනිවරුන්, ෂූෂන්#4:9 ෂූෂන් ග්‍රීක් සූසා මිනිසුන් වන ඒලාම්වරුන් හා 10උතුම් වූ ගරුතර ඔස්නප්පර් විසින් අල්ලාගෙන යන ලදුව, සමාරි පුරයේත්, ගඟෙන් එගොඩ පළාතෙත් පදිංචි කර වූ ජනයා වෙතිනි.
11(ඔවුන් විසින් අර්තාෂස්තා වෙත එවන ලද ලිපියේ පිටපතකි මෙය)
අර්තාෂස්තා රජතුමනි,
ගඟ එතෙර පළාතේ සිටින ඔබගේ සේවකයින් වන මිනිසුන් වෙතිනි: ශුභ සිද්ධ වේවා! අප ඔබට ලියන්නේ,
12ඔබ වෙතින් අප වෙත ආ යුදෙව්වෝ යෙරුසලමට ගිය වගයි; ඔවුහු ඒ කැරලිකාර, දුෂ්ට පුරවරය යළි ගොඩ නගන වග රජතුමා දැන ගනීවා. ඔවුහු පවුරු පිළිසකර කරමින්, අත්තිවාරම් අලුත්වැඩියා කරමින් සිටිති.
13තවද මේ පුරවරය යළි ඉදි කොට, එහි පවුරු සම්පූර්ණ කළහොත්, ඔවුන් තවදුරටත් වරිපණම්, පඬුරු හා බදු ගෙවනු නැත. එවිට රජුගේ ආදායම් පහළ බසිනු ඇති වග රජතුමා දැන ගනීවා. 14මේ දක්වා අප රජ මැදුරේ ලුණු පරිභෝජන කරන බැවින්, රජුට නින්දාවක් වනු දැකීම අපට යුතු නැත. අප මේ පණිවුඩය රජුට දන්වා එවන්නේ, 15ඔබගේ පියවරුන්ගේ ලේඛන පිරික්සනු පිණිස ය. එවිට එම වාර්තාවලින් මේ පුරවරය කැරලිකාර පුරවරයක් වගත්, රජවරුන්ට හා පළාත්වලට කරදරකාරී වූ පුරාණ කාලවල පටන් කැරලිකාර ස්ථානයක් වූ වගත් දැනගත හැක. මෙපුර විනාශ වී ඇත්තේ එබැවිනි. 16මේ පුරවරය ඉදි කොට, එහි පවුරු සම්පූර්ණ කළහොත්, ඉන්පසු ගඟින් එගොඩ පළාතෙහි ඔබට කිසිවක් ඉතිරි නො වන වග අපි රජු දැනුම්වත් කරන්නෙමු.
17ඊට රජු මෙසේ පිළිතුරු එවී ය:
අණ දෙන නිලධාරී රෙහූම්, ලේකම් ෂිම්ෂයි හා සමාරියේත්, ගඟෙන් එගොඩ පළාතේත් වසන ඔවුන්ගේ හවුල්කරුවන් වෙත:
ශුභ සිද්ධ වේවා!
18ඔබ විසින් අප වෙත එවන ලද ලිපිය මා ඉදිරිපිට පැහැදිලි ව කියවන ලදී. 19මම නියෝගයක් නිකුත් කොට, සෝදිසි මෙහෙයුමක් ද දියත් කළෙමි. එවිට මේ පුරවරය පුරාණ කාලවල පටන් රජුන් විරෝධී තැනක් වගත්, කැරලිකාරී හා ද්‍රෝහි උසිගැන්වීමේ ස්ථානයක් වගත් දැනගන්නට ලැබිණි. 20ගඟෙන් එගොඩ මුළු පෙදෙස පාලනය කළ බලවත් රජවරු යෙරුසලමෙහි සිට ඇත. වරිපණම්, පඬුරු හා බදු ඔවුන්ට ගෙවනු ලැබිණ. 21වැඩ නවත්වන ලෙසට ඒ මිනිසුන්ට නියෝගයක් නිකුත් කරන්න. මා නියෝග කරන තුරු මේ පුරවරය යළි ඉදි කිරීම නො කළ යුතු ය. 22මේ කාරණය නො සලකා නොහරින්නට වග බලා ගන්න. රජුට හානියක් වන මේ අනතුර වර්ධන වන්නට ඉඩ තබන්නේ මන්ද?
23අර්තාෂස්තා රජුගේ ලිපියේ පිටපත රෙහූම්ට ද ලේකම් ෂිම්ෂයිට ද ඔහුගේ හවුල්කරුවන්ට ද කියවූ විගස, වහ වහා යෙරුසලමේ යුදෙව්වන් වෙත ගිය ඔවුහු බලහත්කාරයෙන් වැඩ නතර කළහ.
24එසේ පර්සියාවේ රජු වූ දාරෙයාවෙෂ්ගේ රාජ්‍ය පාලනයේ දෙවන වසර දක්වා යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ නැවතී තිබිණ.
Currently Selected:
එස්රා 4: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.