YouVersion Logo
Search Icon

එසකියෙල් 7

7
අවසානය
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 2“මනුෂ්‍ය පුත්‍රය, පරමාධිපති ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් දේශයට මෙසේ පවසන සේක:
“අවසානය ය! දේශයේ සතර දිගන්තයට ම
අවසානය ඇවිල්ලා!
3අවසානය දැන් ඔබ මත්තෙහි ය.
ඔබට එරෙහිව මගේ කෝපය, මම මුදා හරින්නෙමි.
මම ඔබේ ක්‍රියා කලාපය අනුව ඔබ විනිශ්චය කොට,
පිළිකුල් සහගත ඔබේ සියලු ක්‍රියා මාර්ග ලෙස ඔබට ප්‍රතිවිපාක දෙන්නෙමි.
4මම අනුකම්පාවෙන් යුතු ව නුඹලා දෙස නො බලන්නෙමි.
මම නුඹ ඉතිරි නො කරන්නෙමි.
මම නිසැකයෙන් ම ඔබේ ක්‍රියා කලාපයටත්,
ඔබ අතරේ වන පිළිකුල් සහගත ක්‍රියා මාර්ගවලටත් නිසි විපාක දෙන්නෙමි.
‘එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔබ දැනගන්නවා ඇත.’
5“පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘විපත්තිය! නො ඇසූවිරූ විපත්තිය
පැමිණෙන්නේ ය!
6අවසානය ඇවිල්ලා!
ඇවිල්ලා අවසානය!
ඔබට එරෙහිව එය ඇවිස්සී
මෙන්න එය ඇවිල්ලා!
7දේශයේ වසන්නෙනි,
නුඹලා පිට අභාග්‍යය උදා වෙලා.
කාලය ඇවිල්ලා. දවස ළං වෙලා.
කඳු මත්තේ ප්‍රීතිය නො ව, සංත්‍රාසය ය.
8මගේ උදහස, නුඹ පිට වගුරුවන්නටත්,
මගේ කෝපය, නුඹට එරෙහිව වැය කරන්නටත් මෙන්න මම සූදානමින් සිටිමි.
නුඹේ ක්‍රියා කලාපයට අනුව මම නුඹ විනිශ්චය කරමි.
නුඹේ සියලු පිළිකුල් සහගත ක්‍රියා මාර්ගවලට මම නිසි විපාක දෙන්නෙමි.
9නුඹලා දෙස මම අනුකම්පාවෙන් නො බලමි.
මම නුඹලා ඉතිරි නො කරන්නෙමි.
නුඹලාගේ ක්‍රියා කලාපය හා
නුඹලා අතරේ වන පිළිකුල් සහගත ක්‍රියා මාර්ගවලට අනුව මම නිසි විපාක දෙන්නෙමි.
පහර දෙනු ලබන ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇත.
10“ ‘මෙන්න ඒ දවස!
මෙන්න එය ඇවිල්ලා!
අභාග්‍යය කඩා හැලේ.
කෙවිට මල් දැම්මේ ය.
උඩඟුව දළු ලෑවේ ය.
11දුෂ්ටකමට දඬුවම් දෙන්නට
සැහැසිකම කෙවිටක් ව වැඩුණේ ය.
ජනයාගෙන් කිසිවකුත් ඉතිරි නො වන්නේ ය.
ඒ සමූහයාගෙන් කිසිවකු හෝ
ධන සම්පත් හෝ
වටිනා කිසිවක් හෝ ඉතිරි නො වන්නේ ය.
12කාලය ඇවිල්ලා.
දවස උදා වෙලා.
මිලයට ගන්නා ප්‍රීති නො වේවා.
විකුණන්නා ශෝක නො වේවා.
මන්ද උදහස මුළු සමූහයා පිට ම වන බැවිනි.
13විකුණන්නා තමා විකුණූ ඉඩම
ඔවුන් දෙදෙනා ම ජීවත් ව සිටියදී
ආපසු ලබා නො ගනී.
මන්ද මුළු සමූහයාට ම අදාළ වන මෙම දර්ශනය
ආපසු නො හැරේ.
මන්ද ඔවුන්ගේ පාප නිසා,
ඒ කිසිවෙක් හෝ තම ජීවිතය රැක නො ගන්නා බැවිනි.
14“ ‘ඔවුන් යුධ හොරණෑව හඬවා,
සියල්ල සූදානමින් තැබුවත්,
සටනට යෑමට එන කෙනකු නැත.
මන්ද මගේ උදහස මුළු සමූහයා පිට ම වෙයි.
15පිටත කඩුව ය;
ඇතුළත වසංගතය හා සාගතය ය.
ගම් පළාත්හි සිටින්නෝ
කඩුවෙන් මියෙන්නෝ ය.
පුරවරය තුළ සිටින්නෝ
සාගතයෙන් හා වසංගතයෙන් ගිලගනු ලබන්නෝ ය.
16බේරී ජීවත් ව ඉතිරි වන අය
කඳුවලට පලා යනු ඇත;
එකිනෙකා තම තමාගේ පව් නිසා සියල්ලෝ
මිටියාවත්හි පරෙවියන් සේ
කෙඳිරිලි නගමින් සිටින්නෝ ය.
17හැම අතක් ම වාරු නැතිව යන්නේ ය.
හැම දණහිසක් ම වතුර මෙන් දුර්වල වන්නේ ය.
18ඔවුහු ගෝණි රෙදි ඇඟ ලා ගන්නෝ ය.
භීතියෙන් ඇලළී යන්නෝ ය.
ඔවුන් සියල්ලන්ගේ මුහුණු ලජ්ජාවෙන් වැසී යේ.
ඔවුන් සියල්ලන්ගේ හිසකේ මුඩු කරනු ලැබේ.
19“ ‘ඔවුහු තම රිදී වීදිවලට විසිකර දමන්නෝ ය.
ඔවුන්ගේ රන් පිළිකුල් දෙයක් වන්නේ ය.
ස්වාමින්වහන්සේගේ උදහසේ දවසේ
ඔවුන් ගලවා ගන්නට
ඔවුන්ගේ රිදීවලට හෝ රන්වලට හෝ නො හැකි වන්නේ ය.
ඔවුන්ගේ කුසගින්න නිවාලන්නට හෝ
ඔවුන්ගේ උදරය පුරවාලන්නට හෝ ඒවාට නුපුළුවන.
මන්ද ඔවුන් පාපයට වැටුණේ ඒවායිනි.
20තමන්ගේ අලංකාර ආභරණ ගැන අහංකාර වූ ඔවුහු
තමන්ගේ පිළිකුල් සහගත පිළිම රූප හා
නීච දේව පිළිම සෑදීමට ඒවා යොදා ගත්හ.
එබැවින් මම ඒවා ඔවුන්ට පිළිකුල් දෙයක් වන්නට සලස්වන්නෙමි.
21මම ඒවා විදෙස්සනට කොල්ලයක් වශයෙන් ද
මිහි පිට දුෂ්ටයන්ට මං කොල්ලයක් වශයෙන් ද දෙන්නෙමි.
ඔවුන් ඒවා කෙලෙසනු ඇත.
22මම ඔවුන් වෙතින් මගේ මුහුණ ඉවත හරවමි.
ඔවුන් මගේ අනර්ඝ ස්ථානය කෙලෙසනු ඇත.
සොරුන් ඊට ඇතුළු ව,
එය කෙලෙසනු ඇත.
23“ ‘ලේ වැගිරීමෙන් දේශය පිරී ඇති බැවින් හා
සැහැසිකම්වලින් පුරවරය පිරී ඇති බැවින්,
සිර-දම්වැල් සූදානම් ව තබන්න.
24ඔවුන්ගේ ගෙවල් අත්කර ගැනීමට
මම ජාතීන් අතරෙන් වඩාත් ම දුෂ්ටයින් ගෙනෙන්නෙමි.
බලවතුන්ගේ උඩඟුව මම කෙළවර කරන්නෙමි.
ඔවුන්ගේ සිද්ධස්ථානය කෙලෙසනු ලබනු ඇත.
25භීතිය පැමිණි කල, ඔවුහු සාමය සොයන්නෝ ය.
එහෙත් සාමයක් නො වන්නේ ය.
26විපත්තිය එක පිට එක පැමිණෙන්නේ ය.
දූසමාන ආරංචි ද එක පිට එක පැමිණෙන්නේ ය.
දිවැසිවරයා වෙතින් දර්ශනයක් ලබා ගැනීමට ඔවුහු වැර දරති.
එහෙත් පූජකයා වෙතින් ව්‍යවස්ථාව ඉගැන්වීම ද
වැඩිහිටියන් වෙතින් උපදෙස් දීම ද පහව ගොසිනි.
27රජු වැලපෙනු ඇත.
වංශවතා ශූන්‍ය බලාපොරොත්තුවෙන් හඳවනු ලැබේ.
දේශයේ ජනයාගේ දෑත් වෙවුලනු ඇත.
ඔවුන්ගේ ක්‍රියා කලාපය ලෙසට මම ඔවුන් ගැන වග බලා ගන්නෙමි.
ඔවුන්ගේ ම මිම්මෙන් මම ඔවුන් විනිශ්චය කරමි.
“ ‘එවිට ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇතැ’ යි” පැවසූ සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in