YouVersion Logo
Search Icon

එසකියෙල් 38

38
ගෝග් හා සන්ධානය
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, මෙෂෙක්හි හා තුබල්හි ප්‍රධාන අධිපතියා වන මාගොග් දේශයේ ගෝග්ට එරෙහිව මුහුණ යොමා, ඔහුට එරෙහිව දිවැසි වැකි පවසමින්, 3මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක. එම්බා ගෝග්, මෙෂෙක් හා තුබල්හි ප්‍රධාන අධිපතිය, මා නුඹට විරුද්ධ ය. 4මම නුඹ ආපිට හරවා, නුඹේ හකුවල කොකු දමා, මම නුඹ පිටතට ගෙනෙන්නේ, නුඹේ අශ්වයින් ද සම්පූර්ණ සන්නද්ධ නුඹේ අසරුවන් ද යන නුඹේ මුළු හමුදාව සමඟිනි. ලොකු කුඩා පලිහ දරන ඔවුහු සියල්ලෝ තම අසිපත් ලෙළවන මහා සමූහයකි. 5පර්සියා, කූෂ් හා පූට් භට පිරිස් ද ඔවුන් සමඟ වනු ඇත. ඒ සියල්ලෝ පලිහෙන් ද යුද්ධ හිස්වැසුමින් ද සැරසුණාහු ය. 6තවද, තම මුළු හමුදාව සමඟ ගොමෙර් ද තම මුළු හමුදා සමඟින් ඈත උතුරුකරයේ බෙත්-තොගර්මා ද යන වශයෙන් ජාතීන් බොහොමයක් ඔබ සමඟ වේ.
7“ ‘සූදානම් වන්න: ලැහැස්ති වන්න. ඔබත්, ඔබ වටා සිටින ඔබේ සමූහයාත් එක් රැස් කරවා, ඔවුනට නායකත්වය දෙන්න. 8දවස් ගණනාවකට පසු ඔබ සටනට කැඳවනු ලබන්නේ ය. යුද්ධයෙන් පසු ප්‍රකෘතිමත් කෙරුණු දේශයක් මතු අවුරුදුවලදී ඔබ ආක්‍රමණ කරනු ඇත. දිගු කලක් පාළුවට ගොස් තිබූ ඉශ්‍රායෙල් කඳුවලට ජාතීන් වෙතින් තම ජනයා එක් රැස් කළ ජනතාවකට අයත් දේශයකි එය. ජාතීන් අතරින් ගෙන එන ලද්දන් වූ ඒ සියල්ලෝ දැන් සුරැකි ව වෙසෙති. 9ඔබ ද ඔබගේ මුළු සේනාංක ද ඔබ සමඟ වන බොහෝ ජාතීන් ද කුණාටුවක් සේ පෙරට ඇදෙමින්, නැගී යනු ඇත. ඔබ වලාකුළක් සේ දේශය වසා ගනු ඇත.
10“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඒ දවසේ ඔබේ මනසට සිතුවිලි පහළ වී, දුෂ්ට සැලැස්මකට අර අඳිනු ඇත. 11ඔබ මෙසේ කියනු ඇත. එනම්, “පවුරු රහිත අනාරක්ෂිත ගම්මාන මම ආක්‍රමණ කරන්නෙමි. ආරක්ෂක පවුරු, දොරටු හෝ අගුළු හෝ නොමැතිව සාමය ඇතුව, සුරක්ෂිත ව වෙසෙන ජනතාවක සියලු දෙනාට ම පහර දෙන්නෙමි. 12ජරාවාස ව තිබී, යළි ජනාවාස වූ ස්ථාන ද පිට ජාතීන් වෙතින් අවුත්, සත්ව සම්පතින් හා වස්තුවෙන් පොහොසත් ව පොළොවේ හරි මැද වාසය කරන ජනතාව ද කොල්ලකා, පැහැර ගනිමින්, මම ඊට එරෙහිව මගේ අත හරවන්නෙමි” යනුවෙනි. 13ෂෙබා ද දෙදාන් ද තර්ෂිෂ්හි වෙළඳුන් ද ඇගේ සියලු ගම්මාන ද ඔබට කතා කොට, “නුඹ ආවේ කොල්ලකෑමට ද? නුඹ මේ සමූහයා රැස් කර ඇත්තේ, පැහැර ගන්නටත්, රිදී හා රන් ද සත්ව සම්පත හා වස්තුව ද රැගෙන යෑමටත්, මහා කොල්ලයක් අත්කර ගැනීමටත් දැ?” යි’ අසනු ඇත.
14“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, දිවැසි වැකියෙන් ගෝග්ට මෙසේ පවසන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මගේ ජනතාව වන ඉශ්‍රායෙල් ජනයා සුරක්ෂිත ව වෙසෙනා ඒ දවසේ, නුඹ ඒ වග දකින්නේ නැති ද? 15ඈත උතුරේ නුඹේ ස්ථානයේ සිට නුඹ පැමිණෙනු ඇත. නුඹත්, නුඹ සමඟ එන බොහෝ ජාතීන් වන ඔවුන් සියල්ලෝ අසු පිට දිවෙන මහා සමූහයක් වන ප්‍රබල හමුදාවකි. 16දේශය වසා ගන්නා වලාවක් සේ, ඔබ මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව නැගී එනු ඇත. එම්බා ගෝග්, මම මතු දවස්හි දී මගේ දේශයට එරෙහිව නුඹ ගෙනෙන්නෙමි. එසේ කරන්නේ, විජාතීන් හමුවේ මගේ පාරිශුද්ධත්වය ඔබ මගින් මා පෙන්වා දෙන කල, ඔවුන් මා හැඳින ගන්නා පිණිස ය.
17“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන්නාහ: මගේ සේවකයින් වූ ඉශ්‍රායෙල් දිවැසිවරුන් ලවා පෙර කල මා පැවසූ තැනැත්තා ඔබ නො වේ ද? ඔවුනට එරෙහිව මා ඔබ ගෙන එන වග පවසමින්, වසර ගණනාවක් ම ඔවුහු දිවැසි වැකි පැවසූහ. 18ඒ දවසේ මෙසේ සිදු වන්නේ ය. ගෝග්, ඉශ්‍රායෙල් දේශයට පහර දෙන කල, මගේ කෝපාග්නිය ඇවිස්සෙනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 19මගේ ඊර්ෂ්‍යාවෙන් හා ඇවිළෙන උදහසින් මා ප්‍රකාශ කරන්නේ, ඒ කාලයේදී ඉශ්‍රායෙල් දේශයේ මහා භූමිකම්පාවක් සිදුවන බවයි. 20මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද වනයේ සතුන් ද පොළොවේ බඩ ගා යන සියලු උරගයින් ද පොළෝ තලේ සියලු ජනයා ද මගේ අභිමුඛයෙහි වෙවුලනු ඇත. කඳු පෙරළා දමනු ලැබේ. පර්වත කූට බිඳ හෙළනු ලැබේ. පවුරු හැම බිම ඇද වැටේ. 21මගේ සියලු කඳු මත ගෝග්ට එරෙහිව මම අසිපතක් කැඳවන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. හැම කෙනකුගේ ම අසිපත තම සහෝදරයාට එරෙහි වන්නේ ය. 22වසංගතයෙන් හා ලේ වැගිරීමෙන් මම විනිශ්චයේ දඬුවම ඔහු පිට පමුණුවමි. මම ඔහු පිටත්, ඔහුගේ හමුදාව පිටත්, ඔහු සමඟ වූ බොහෝ ජාතීන් පිටත් වර්ෂා ප්‍රවාහයක් ද ගල් වැහි හා ගිනි ඇවිළෙන ගෙන්දගම් වැහි ද වගුරු වන්නෙමි. 23මෙසේ මගේ ශ්‍රේෂ්ඨත්වය ද මගේ ශුද්ධත්වය ද පෙන්නුම් කරමින්, බොහෝ වූ ජාතීන් හමුවේ ප්‍රකාශ වන්නෙමි. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.’

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in