එසකියෙල් 35
35
ඒදොම් කඳු
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ, 2“මනුෂ්‍ය පුත්‍රය, ඔබගේ මුහුණ සේයිර් කන්දට එරෙහිව යොමු කොට, ඊට එරෙහිව දිවැසි වැකි පවසමින්, 3මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එම්බා, සේයිර් කන්ද, මම නුඹට එරෙහිව සිටිමි. මම නුඹට එරෙහිව මගේ හස්තය දිගු කොට, නුඹ පාළු මුඩු බිමක් කරන්නෙමි. 4මම නුඹේ නගර, ජරාවාස කරන්නෙමි. නුඹ පාළුවට යනු ඇත. එවිට ස්වාමින්වහන්සේ මා වග නුඹ දැනගන්නවා ඇත.
5“ ‘නුඹ ඉපැරණි එදිරිවාදිකමක් සිතේ රඳවා සිට, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විපත්ති කාලයේ, එනම් ඔවුන්ගේ දඬුවමේ උච්ච අවස්ථාවේ කඩුවේ බලයට ඔවුන් නතු කළ බැවින්, 6මා ජීවත් වන වග සැබෑ සේ ම, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ලේ වැගිරීමට, මම නුඹ පවරා දෙමි; ඒ ලේ වැගිරීම නුඹ පසු පස ලුහුබඳිනු ඇත. ලේ වැගිරීමට නුඹ ද්වේෂ නො කළ බැවින් ලේ වැගිරීම නුඹ පසු පස ලුහුබඳිනු ඇත. 7මම සේයිර් කන්ද පාළු මුඩු බිමක් කරන්නෙමි. එයින් යන එන සියල්ලන් මම එයින් සිඳ දමන්නෙමි. 8මම, නුඹේ කඳු මැරුම්කෑවුන්ගෙන් පුරවන්නෙමි. කඩුවෙන් මැරුම් කෑවුන් නුඹේ හෙල් මත ද නුඹේ මිටියාවත් තුළ ද නුඹේ මුළු ගිරි කඳුරු අතරෙහි ද වැටී යනු ඇත. 9මම සදහට නුඹ පාළුවක් කරන්නෙමි. නුඹේ නගර, ජනාවාස නො වනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹ දැනගන්නවා ඇත.
10“ ‘ස්වාමින්වහන්සේ වන මා එහි සිටියදීත් නුඹ කතා කොට, “මෙම දෙජාතියත්, දෙරටත් අපට වන්නේ ය. අපි එය අත්පත් කර ගන්නෙමු” යි කී බැවින්, 11පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: මා ජීවත් වන වග සැබෑ සේ ම, නුඹේ ද්වේෂයෙන් යුතු ව ඔවුන්ට එරෙහිව නුඹ පෑ කෝපයට හා ඊර්ෂ්‍යාවට අනුකූලව මම නුඹට කරන්නෙමි. මෙසේ මම නුඹ විනිශ්චය කරන කල, ඔවුන් අතරෙහි මා දැනගන්නට සලසන්නෙමි. 12එවිට, ඉශ්‍රායෙල් කඳුවලට එරෙහිව නුඹ පැවසූ සියලු නින්දිත දෑ ස්වාමින්වහන්සේ වන මා අසා සිටි වග නුඹ දැනගන්නවා ඇත. “ඒවා පාළුවට යවනු ලැබ, කා දමන පිණිස අපට දී ඇතැ” යි නුඹ පවසා ඇත. 13නුඹ සංවරයක් නැතිව, මට එරෙහිව උදාරම් වූයේ ය. මට එරෙහිව කටමැත දෙඩවී ය. ඒවා මට ඇසිණි. 14පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මුළු පොළොව ම ප්‍රමෝදයට පත් වන අතරේ මම නුඹ පාළුවට යවන්නෙමි. 15මන්ද, ඉශ්‍රායෙල් වංශයේ උරුමය, පාළුවට පත් කල, නුඹ ප්‍රමෝදවත් විය. මමත් නුඹට කරන්නේ එපරිද්දෙනි. එම්බා සේයිර් කන්ද! නුඹත් මුළු ඒදොම් දේශයත් පාළුවට පත් කෙරෙනු ඇත. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.’ ”
Currently Selected:
එසකියෙල් 35: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.