එසකියෙල් 18:1-18
එසකියෙල් 18:1-18 SCV
ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: “පියවරු ඇඹුල් මිදි පල කන්නාහ; දරුවන්ගේ දත් හිරිවැටී යත.” යන ප්‍රස්තාව පිරුළ ඉශ්‍රායෙල් දේශය සම්බන්ධයෙන් උපුටා දැක්වීමෙන් නුඹලා අදහස් කරන්නේ කුමක් ද? “පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, මා ජීවත් වන වග සැබෑ සේ ම, මෙම ප්‍රස්තාව පිරුළ මින් මතු ඉශ්‍රායෙල්හි දී උපුටා දක්වන්නේ නැති වගයි. මෙන්න! සෑම ජීවයක් ම මගේ ය. පියාගේ ජීවය මෙන් ම පුතාගේ ජීවය ද යන දෙදෙනා ම එක ලෙස අයිති මට ය. පව් කරන ජීවය මියෙනු ඇත. “යුක්තියත්, සාධාරණයත් කරන දමිටු මිනිසකු සිටින්නට පුළුවන. ඔහු කඳු උඩ දෙවොල්හි කැවිලි අහරට ගන්නේ නැත. ඉශ්‍රායෙල් වංශයේ දේව පිළිම වෙත ඔහුගේ සැලකිල්ලක් නැත. ඔහු තම අසල්වැසියාගේ බිරිඳ කෙලෙසන්නේ නැත; කාන්තාවකගේ ඔසප් දවස්හි ඇය හා එක්වන්නේ ද නැත. ඔහු කිසිවකුත් පීඩාවට පත් නො කරයි. දුන් ණය සඳහා වූ උගස ද ඔහු ආපසු දෙයි. ඔහු සොරකම් නො කරයි. සාගිනි වූවන්ට අහර සපයා දෙයි. ඇඳුම් නැති අයට ඇඳුම් දෙයි. ඔහු පොලී අය කර ණය දෙන්නේවත්, පොලී එකතු කර ණය අය කරන්නේවත් නැත. ඔහු වැරදි කිරීමෙන් වළකියි. ඔහු දෙදෙනකු අතරේ අපක්ෂපාතී ව විනිශ්චය කරයි. ඔහු මගේ නියෝග පිළිපදියි. මගේ නියමයන්, විශ්වාසවන්ත ව පවත්වයි. ඔහු ධර්මිෂ්ඨයෙකි. සැබවින් ම ඔහු ජීවත් වේ යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඇතැම් විට, සැහැසි පුතකු ඔහුට සිටින්නට පුළුවන. ඔහු ලේ වගුරුවන්නකු හෝ ඉහත කී යම් නපුරක් කරන්නකු හෝ විය හැක. ඔහුගේ පියා මෙම දෑ නො කළ ද “ඔහු කඳු උඩ දෙවොල්හි පිදුම් අහරට ගනියි. තම අසල්වැසියාගේ බිරිඳ කෙලෙසයි. ඔහු දුප්පතුන් හා අසරණයින් පීඩාවට පත් කරයි. සොරකම් කරයි. ගත් උගස ආපසු නො දෙයි. ඔහු දේව පිළිම දෙස බැලුම් හෙළා, පිළිකුල් සහගත දෑ කරයි. ඔහු පොලී අය කර ණය දෙයි, පොලී එකතු කර ණය අය කර ගනියි. එබඳු මිනිසකු ජීවත් වේ ද? ඔහු ජීවත් නො වේ! මේ හැම පිළිකුල්කම් ඔහු කළ නිසා, නියතයෙන් ම ඔහු මරණයට පත් කෙරේ. ඔහුගේ ලේ ඔහුගේ හිස පිටට ම ඒ. “ඇතැම් විට ඔහුට ද පුතකු සිටින්නට පුළුවන. මෙම පුතු, තම පියා විසින් කරන ලද එම සියලු පාප දැක තිබුණ ද ඒ කිසිවක් නො කරන්නෙකි. “ඔහු කඳු උඩ දෙවොල්හි පිදවිලි-කැවිලි අහරට නො ගනී. ඉශ්‍රායෙල් වංශයේ දේව පිළිම දෙස සැලකිලි නො දක්වයි. ඔහු තම අසල්වැසියාගේ බිරිඳ නො කෙලෙසයි. ඔහු කිසිවකුත් පීඩාවට පත් නො කරයි. ණයක් සඳහා උගසක් නො ගනියි. ඔහු සොරකම් නො කරයි. සාගිනි වූවන්ට තම ආහාර දෙයි. ඇඳුම් නැතියවුන්ට ඇඳුම් සපයා දෙයි. ඔහු පවින් වළකියි. ඔහු පොලී අය කර හෝ පොලී එකතු කර ණයට නො දෙයි. ඔහු මගේ නියමයන් පිළිපදිමින්, මගේ නියෝග රක්ෂා කරයි. තම පියාගේ පාප නිසා ඔහු මියෙන්නේ නැත. සැබවින් ම ඔහු ජීවත් වෙයි. එහෙත් ඔහුගේ පියා, තමන්ගේ ම පව් නිසා මියෙන්නේ ය. මන්ද ඔහු බලහත්කාරයෙන් පැහැරගත්තේ ය. තම සහෝදරයාගෙන් සොරා ගත්තේ ය. තම ජනයා අතරෙහි නොකටයුතු දෑ කළේ ය.





