නික්මයාම 20
20
දස පනත
1ඉන්පසු දෙවියන්වහන්සේ මේ සියලු වචන පැවසූ සේක.
2“ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. වහල්කමේ නිවාසයෙන් පිටතට, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ තැනැත්තාණෝ මම ය.
3“මා ඉදිරියෙහි අන් දෙවිවරුන් ඔබට නො සිටිය යුතු ය.
4ඔබ, ඉහළ අහසේ හෝ පහළ පොළොවේ හෝ පොළොවෙන් යට ජලයේ හෝ ඇති කිසිවක රූපාකාරයෙන් පිළිම රූපයක්, ඔබට හදා ගැනීම නො කළ යුතු ය. 5ඔබ ඒවාට වැඳ වැටීම නො කළ යුතු ය. නමස්කාර නො කළ යුතු ය. මන්ද මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත#20:5 ඊර්ෂ්‍යා සහගත එනම් අන්‍ය භක්ති නො ඉවසන දෙවියන්වහන්සේ ය. මට වෛර කරනවුනට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා පියවරුන්ගේ පාපයට දරුවන්ට දඬුවම් කරන්නා වූ, 6එහෙත් මට ප්‍රේම කරන, මගේ ආඥා පිළිපදින අයගේ දහස් ගණන් දක්වා නොමියෙන ප්‍රේමය පාන්නා වූ තැනැත්තාණෝ ය.
7ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය නිරර්ථක ව භාවිත නො කළ යුතු ය. මන්ද ස්වකීය නාමය නිරර්ථක ව භාවිත කරන්නන්ට ස්වාමින්වහන්සේ දඬුවම් නො කර සිටින්නේ නැත.
8සබත් දවස සිහියේ තබා ගනිමින්, එය ශුද්ධ ලෙස වෙන් කොට තබන්න. 9හය දවසක් ඔබ වෙහෙස ව ඔබේ සියලු වැඩ කර ගන්න. 10එහෙත් හත් වන දවස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සබතක් ය. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. ඔබ හෝ ඔබගේ පුතා හෝ ඔබගේ දුව හෝ ඔබගේ සේවකයා හෝ ඔබගේ සේවිකාව හෝ ඔබගේ සතුන් හෝ ඔබේ පුරවර දොරටු තුළ වෙසෙන විදෙස්සා හෝ කිසි වැඩක් නො කළ යුතු ය. 11මන්ද අහස ද පොළොව ද මුහුද ද එහි ඇති සියල්ල ද හය දවසක් තුළ සෑදූ ස්වාමින්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. එබැවින් ස්වාමින්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට, එය විශුද්ධ කළ සේක.
12ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ ඔබ දීර්ඝායු ලබන පිණිස ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න.
13ඔබ, මිනී මැරීම නො කළ යුතු ය.
14ඔබ, පරදාර සේවනය නො කළ යුතු ය.
15ඔබ, සොරකම් නො කළ යුතු ය.
16ඔබ, ඔබේ අසල්වැසියාට එරෙහිව බොරු සාක්ෂි නො දිය යුතු ය.
17ඔබ, ඔබේ අසල්වැසියාගේ නිවසට තෘෂ්ණා නො කළ යුතු ය. ඔබේ අසල්වැසියාගේ බිරිඳට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට, බූරුවාට හෝ ඔබේ අසල්වැසියාට අයත් අන් කවරකට හෝ තෘෂ්ණා නො කළ යුතු ය.”
18මේඝ ගර්ජනාවත්, විදුලි අකුණුත්, හොරණෑ නාදයත් ඇසූ දුටු මුළු මහත් ජනයා දුම් නැගෙන කන්ද දුටු කල, භයින් වෙවුලන්නට වූහ. ඔවුහු දුරින් සිට, 19මෝසෙස්ට කතා කොට, “ඔබ ම අපට කතා කරන්න: අප ඇහුම්කන් දෙන්නම්. එහෙත් දෙවියන්වහන්සේ අපට කතා නො කළා වේ; කළොත් අප නැසෙනු ඇතැ” යි කීහ.
20එවිට මෝසෙස් ජනතාව අමතමින්, “භය නො වන්න; දෙවියන්වහන්සේ පැමිණියේ නුඹලා පරීක්ෂා කරන්නටයි. නුඹලා පව් නො කර සිටිනු සඳහා නුඹලා උන්වහන්සේට භය පක්ෂපාතී ව සිටිනු පිණිස යැ” යි කීවේ ය.
21ජනයා ඈතට වී රැඳී සිටියදී, මෝසෙස්, දෙවියන්වහන්සේ සිටි ඝන අන්ධකාරය වෙත ළඟා විය.
පිළිම රූප හා පූජාසන
22එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “ඉශ්රායෙල්වරුන්ට මෙසේ කියන්න: ‘ස්වර්ගයේ සිට මා නුඹලාට කතා කළ වග නුඹලා ම දුටුවහ. 23මා සමඟ සිටින පිණිස, ඔබ දෙවිවරුන් හදා ගැනීම නො කළ යුතු ය. රිදී දෙවිවරුන් හෝ රන් දෙවිවරුන් හෝ නුඹලාට හදා ගැනීම නො කළ යුතු ය.
24“ ‘පස්වලින් මට පූජාසනයක් තනා, ඔබේ දවන යාග පූජා හා ශාන්ති පූජා වශයෙන් ඔබේ එළු බැටළු හා ගවයින් ඒ මත පූජා කරන්න. මවිසින් මගේ නාමය ගෞරවයට පමුණු වන ලබන කොතැනකට වුව, මම ඔබ වෙත අවුත්, ඔබට ආශිර්වාද කරන්නෙමි. 25ඔබ මට ගලින් පූජාසනයක් තනන්නේ නම්, කැපූ ගල් ඊට නො යොදන්න. මන්ද ඔබ ඊට ආයුධයක් යොදා ගතහොත් එය දූෂ්‍ය වන බැවිනි. 26තවද මගේ පූජාසනය වෙත නුඹලා පඩි පෙළකින් නැග නො යා යුතු ය. ඒ එසේ කළහොත් ඒ මත ඔබේ නග්න භාවය නිරාවරණ විය හැකි නිසා යැ’ යි” පැවසූ සේක.
Currently Selected:
නික්මයාම 20: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.