නික්මයාම 16
16
මන්නා සහ වටුවෝ
1මුළු ඉශ්‍රායෙල් ජන සමූහයා ඒලිම් වෙතින් පිටත් ව, ඔවුන් ඊජිප්තු දේශයෙන් නික්මුණු පසු දෙවන මස පහළොස් වන දවසේ, සීන් කාන්තාරයට පැමිණියහ. එය පිහිටියේ ඒලිම් හා සීනයි අතර ය. 2ඉශ්‍රායෙල් මුළු ජන සමූහයා කාන්තාරයේදී මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව මැසිවිලි නගන්නට වන්හ. 3ඉශ්‍රායෙල්වරු ඔවුනට දොස් පවරමින්, “ඊජිප්තුවේදී ස්වාමින්වහන්සේ අතින් අප මැරුණා නම් හොඳයි! එහිදී අප මස් බඳුන් වටේට හිඳ, අප ආශා කළ කෑම, බඩ-කට පුරා කෑවා. එහෙත් දැන් මේ මුළු සමූහයා සාගින්නෙන් මරා දමන්නට නුඹලා මේ කාන්තාරයට අප ගෙනැවිල්ලා” යි කීහ.
4එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මෙන්න! මම නුඹලාට අහසින් ආහාර වැසි වස්සන්නෙමි. ජනයා ඒ ඒ දවසේ පිටතට ගොස්, ඒ දවසට ප්‍රමාණවත් තරම එකතු කර ගත යුතු ය. මේ අයුරින් මම ඔවුන් පරීක්ෂා කර, ඔවුන් මගේ උපදෙස් පිළිපදිනවාදැයි බලමි. 5හය වන දවසේ ඔවුන් ගෙනෙන දැයින් අහර පිළියෙල කර ගත යුතු ය. එය අනෙක් දවස්වල ඔවුන් එකතු කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් යැ” යි පැවසූ සේක.
6එබැවින් මෝසෙස් හා ආරොන් සියලු ඉශ්‍රායෙල්වරුන් අමතමින්, “ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙන එන ලද්දේ, ස්වාමින්වහන්සේ ම වග සවස නුඹලා දැනගනු ඇත. 7උදයේ නුඹලා ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය දකිනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහි වූ නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අපට එරෙහිව මැසිවිලි නගන්නට අප කවුරු දැ?” යි පැවසූහ. 8තවද මෝසෙස්, “සවස ඔබට කෑමට උන්වහන්සේ මස් සපයා දෙන විටත්, උදයේ ඔබට ඇති තරම් ආහාර සපයා දෙන විටත්, ඒ ස්වාමින්වහන්සේ ම වග නුඹලා දැනගනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහිව නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අප කවුරු ද? නුඹලා මැසිවිලි නගන්නේ අපට එරෙහිව නො ව, ස්වාමින්වහන්සේට එරෙහිව යැ” යි පැවසී ය.
9ඉන්පසු මෝසෙස්, ආරොන් අමතමින්, “මුළු ඉශ්‍රායෙල් ජන සමූහයාට කතා කොට, ‘ස්වාමින්වහන්සේ හමුවට එන්න; ඔබේ මැසිවිල්ල උන්වහන්සේ ඇසූ සේක කියා කියන්නැ’ යි” පැවසී ය.
10ආරොන් මුළු ඉශ්‍රායෙල් ජන සමූහයාට කතා කරද්දී, ඔවුහු කාන්තාරය දෙස බැලූහ. එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය වලාකුළෙහි පෙනෙන්නට වන්නේ ය.
11එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 12“ඉශ්‍රායෙල් ජනයාගේ මැසිවිලි මම ඇසීමි. ඔවුනට මෙසේ කියන්න: ‘සවස, නුඹලා මස් අනුභව කරනු ඇත; උදයේ, රොටිවලින් නුඹලා සෑහීමට පත් කෙරෙනු ඇත. එවිට, මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය යන්න නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූ සේක.
13එදා සවස, වටුවෝ අවුත් කඳවුර වසා ගත්හ; උදෑසන කඳවුර හාත්පස පිනි තට්ටුවක් විය. 14පිනි සිඳී ගිය පසු මෙන්න! සුමුදු හිම වැනි කුඩා වටකුරු දෙයක් කාන්තාර බිම මතු පිට තිබිණ. 15ඉශ්‍රායෙල්වරු ඒ දුටු කල, “මොනවද මේ?” යි එකිනෙකාගෙන් විමසන්නට වූහ. ඒ මොනවාදැයි ඔවුන් දැන සිටියේ නැත.
එවිට මෝසෙස් ඔවුන් දැනුවත් කරමින්, “නුඹලාට කෑමට ස්වාමින්වහන්සේ දුන් රොටි මේවා ය. 16ස්වාමින්වහන්සේ අණ කොට ඇත්තේ, ‘හැම කෙනෙක් ම තමන්ට ආහාරයට, අවශ්‍ය තරම එකතු කර ගනිත්වා; ඔබගේ කූඩාරමේ සිටින හැම කෙනකුට ම ඕමෙරයක්#16:16 ලීටර් දෙකක ප්‍රමාණයක් විය හැක. බැගින් ගනිත්වා’ කියා” යි පැවසී ය.
17ඉශ්‍රායෙල්වරු තමනට කී ලෙස කළහ. ඇතමෙක් බොහොමයක් ද ඇතමෙක් ස්වල්පයක් ද එකතු කර ගත්හ. 18ඕමෙරයක මිම්මෙන් ඔවුන් ඒවා මැන බැලූ කල, බොහොමයක් එකතු කළ අයට වැඩියෙන් තිබුණේවත්, ස්වල්පයක් එකතු කළ අයට අඩුවෙන් තිබුණේවත් නැත. හැම කෙනකු ම රැස් කර තිබුණේ තමනට අවැසි තරම පමණ ය.
19එවිට මෝසෙස් ඔවුන්ට කතා කොට, “කිසිවකු මෙයින් කිසිවක් උදය වන තුරු නො තබා ගත යුතු යැ” යි කීවේ ය.
20එහෙත් මෝසෙස්ට ඇහුම්කන් නො දුන් ඇතමෙක් ඒවායින් කොටසක් උදය වන තුරු තබා ගත්හ. එහෙත් ඒවා පණුවන් ගසා, දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.
21හැම උදයක, හැම කෙනෙක් ම තම තමන්ට අවැසි තරම එකතු කර ගත්හ. හිරු තාපය දැඩි වූ කල ඒවා දියවී ගියේ ය. 22සවැනි දින ඔවුහු ප්‍රමාණයෙන් දෙගුණයක්, එක් කෙනකුට ඕමෙර දෙක බැගින් එකතු කර ගත්හ. සමූහයාගේ නායකයෝ මෝසෙස්ට ඒ වග දැන්වූහ. 23ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අණ කර ඇත්තේ මෙයයි: ‘හෙට පූර්ණ විවේක දවසක්; ස්වාමින්වහන්සේට කැප ශුද්ධ සබතක්. එබැවින් උදුනේ පුලුස්සා ගන්න කොටස, පුලුස්සා ගන්න. තම්බා ගන්න කොටස, තම්බා ගන්න. ඉතිරිය උදෑසන දක්වා තබා ගත හැකි ය’ කියා යැ” යි පැවසී ය.
24මෙසේ ඔවුහු මෝසෙස් අණ කළ පරිදි, උදය වන තෙක් ඒවා ඉතිරි කර තැබූහ. එයින් දුගඳ වහනය වූයේ නැත: ඊට පණුවන් ගැසුවේ ද නැත. 25එවිට මෝසෙස්, “ඒවා අද අහරට ගන්න. මන්ද අද ස්වාමින්වහන්සේට සබතකි. එළිමහන් බිමේ අද ඒවා හමු නො වේ. 26හය දවසක් ඔබ ඒවා රැස් කර ගනු ඇත. එහෙත් හත් වන දවස-සබතේදී ඒවා නො වෙතැ” යි කීවේ ය.
27එසේ වුව ද ජනයාගෙන් ඇතමෙක් හත් වන දවසේත් ඒවා රැස් කර ගන්නට පිටතට ගියහ. එහෙත් ඔවුනට කිසිවක් හමු වූයේ නැත. 28එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “තව කොපමණ කලක් නුඹලා මගේ ආඥා හා මගේ උපදෙස් පිළිපැදීම ප්‍රතික්ෂේප කරනවා ද? 29සබත නුඹලාට දුන්නේ ස්වාමින්වහන්සේ වග සිහි තබා ගන්න. හය වන දවසේ දෙදවසක ආහාර උන්වහන්සේ දෙන්නේ එනිසයි. හත් වන දවසේ හැම කෙනකු ම තමන් සිටින තැන්හි ම සිටිය යුතු ය. කිසිවකුත් පිටතට නො යා යුතු යැ” යි පැවසූ සේක. 30එබැවින් ජනයා හත් වන දවසේ විවේක ගත්හ.
31ඉශ්‍රායෙල් ජනයා එම ආහාර මන්නා#16:31 මන්නා එනම් මොනවද ඒ යයි හැඳින් වූහ. ඒවා කොත්තමල්ලි ඇට බඳු ය. පැහැයෙන් සුදු ය. රසයෙන්, මී පැණි මුසු කැවිල්ලක් වැන්න. 32මෝසෙස් කතා කරමින්, “ස්වාමින්වහන්සේගේ අණ මෙසේ ය: ‘මේවායින් ඕමෙරයක් රැගෙන, ඔබගේ මතු පරම්පරා සඳහා වෙන් කර තබන්න. ඊජිප්තු දේශයෙන් පිටතට මා ඔබ ගෙනා කල, පාළුකරයේදී ඔබට ආහාර පිණිස මා දුන් රොටි එවිට ඔවුන්ට දැකගත හැකි වෙතැ’ යි” පැවසී ය.
33එබැවින් මෝසෙස්, ආරොන්ට කතා කොට, “භාජනයක් ගෙන මන්නා ඕමෙරයක් එහි පුරවා, මතු පරම්පරා උදෙසා එය ස්වාමින්වහන්සේ අබියස සුරැකි ව තබන්නැ” යි කීවේ ය.
34 ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ආරොන් එය සුරැකි ව තිබෙනු පිණිස සාක්ෂි ගල්ලෑලි අබියස තැබී ය. 35ඉශ්‍රායෙල් ජනයා ජනාවාස භුමියකට පැමිණෙන තෙක්, හතළිස් වසරක් මන්නා අනුභව කළහ. කානාන් දේශ සීමාවට ළඟා වන තෙක් ඔවුහු මන්නා අනුභව කළහ.
36(ඕමෙරයක් යනු ඒෆාවකින් දසයෙන් පංගුවකි.)
Currently Selected:
නික්මයාම 16: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.