YouVersion Logo
Search Icon

නික්මයාම 14:21-29

නික්මයාම 14:21-29 SCV

මෝසෙස් මුහුද දෙසට තම අත දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ මුළු රැය පුරා පෙරදිග සැඬ සුළඟකින් මුහුද ආපසු ගලා යවා, මුහුද වියළි බිමකට හැරවූ සේක. මෙසේ ජලය දෙබෑ කෙරිණ. ඉශ්‍රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත්හ. මුහුදු ජලය ඔවුනට දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් පිහිටා සිටුයේ ය. ඊජිප්තුවරු ඔවුන් ලුහුබැන්දෝ, පාරාවෝගේ අශ්වයින් ද යුද්ධ රථ හා අසරුවන් ද ඔවුන් පසු පස මුහුදට වන්නෝ ය. අලුයම් යාමයේ ස්වාමින්වහන්සේ ගිනි හා වලා ටැඹ මතින් ඊජිප්තු හමුදාව දෙස බැලූ සේක්, ඔවුන් වියවුල් කළ සේක. රථ පැදවීම අසීරු වන පරිදි, උන්වහන්සේ ඔවුන්ගේ රථ රෝද බුරුල් කළ සේක. එවිට ඊජිප්තුවරු, “ඉශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් ව, පලා යමු. ස්වාමින්වහන්සේ ඔවුන් උදෙසා ඊජිප්තුවට එරෙහිව සටන් කරති” යි කීවෝ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “මුහුදට ඔබේ අත දිගු කරන්න; ඊජිප්තුවරුන් පිටත්, ඔවුන්ගේ යුද්ධ රථ හා අසරුවන් පිටත් ජලය ආපසු එන පිණිස යැ” යි කී සේක. එබැවින් මෝසෙස් තම අත මුහුදට දිගු කළේ ය. දවස උදා වෙද්දී මුහුද යළි පෙර තිබූ තැනට ම ගලා ආවේ ය. ඊජිප්තුවරුන් එයින් පලා යෑමට තැත් දැරූ නමුදු, ස්වාමින්වහන්සේ ඔවුන් මුහුද මැදට ගසා යැවූ සේක. ජල කඳ ආපසු ගලා අවුත්, යුද්ධ රථ හා අසරුවන් ද ඇතුළු පාරාවෝගේ සමස්ත හමුදාව යට කර දැමී ය. ඉශ්‍රායෙල්වරුන් පසු පස මුහුදට පැමිණි ඔවුන්ගෙන් එකකුවත් ඉතිරි නො වී ය. එහෙත් ඉශ්‍රායෙල් ජනයා තමන්ගේ දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් ජලය තිබියදී මුහුද මැද වියළි බිම දිගේ ගමන් ගත්තෝ ය.