YouVersion Logo
Search Icon

නික්මයාම 14:1-12

නික්මයාම 14:1-12 SCV

තවද, ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආපසු හැරී, මිග්දෝල් හා මුහුද අතරේ පී-හහිරොත් හි කඳවුරු ගසන්නැයි ඉශ්‍රායෙල් ජනයාට කියන්න. නුඹලා කඳවුරු බැඳිය යුත්තේ, බාල්-සෙෆොන්ට කෙළින් ම මුහුණ ලා, මුහුද අද්දර ය. පාරාවෝ, ඉශ්‍රායෙල් ජනයා ගැන සඳහන් කරමින්, ‘ඔවුන් වියවුල් ව, රට වටා ඉබාගාතෙ යනු ඇත. ඔවුන් කාන්තාරයේ කොටු වී ඇති’ යි කියනු ඇත. මම පාරාවෝගේ හද දැඩි කරන්නෙමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත් පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද හේතු කොට මම ගෞරව මහිම ලබන්නෙමි. එවිට, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගනු ඇතැ” යි පැවසූ සේක. එබැවින් ඉශ්‍රායෙල්වරු එසේ කළහ. ඉශ්‍රායෙල් ජනයා පලා ගොස් ඇති වග, ඊජිප්තු රජුට සැල වූ කල, පාරාවෝ හා ඔහුගේ නිලධාරීහු තම අදහස් වෙනස් කර ගනිමින්, “මොකක් ද මේ අප කර ගත්තේ! ඉශ්‍රායෙල්වරුන්ට යන්නට දීමෙන්, අප ඔවුන්ගේ සේවය නැති කර ගත්තා” යි කීහ. එබැවින් ඔහු තම යුද්ධ රථය සූදානම් කරවා, තම හමුදාව ද කැඳවා ගත්තේ ය. ඔහු හොඳ ම යුද්ධ රථ හයසීයක් ද ඊජිප්තුවේ සෙසු සියලු යුද්ධ රථ ද ඒ හැම භාර නිලධාරීන් ද සපයා ගත්තේ ය. ස්වාමින්වහන්සේ ඊජිප්තු රජු වූ පාරාවෝගේ හද දැඩි කළෙන්, එඩිතර ව ගමනේ යෙදුණු ඉශ්‍රායෙල්වරුන් පසු පස ඔහු හඹා ගියේ ය. පාරාවෝගේ සියලු අශ්වයින් හා අස්රිය ද ඔහුගේ අසරුවන් හා ඔහුගේ හමුදාව ද යන ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ, බාල්-සෙෆොන් අබියස පී-හහිරොත් අසල මුහුද අද්දර කඳවුරු ලා සිටි ඔවුන්ට කිට්ටු කළෝ ය. පාරාවෝ ළං වෙත් ම, ඉශ්‍රායෙල් ජනයා හැරී බැලූ කල, මෙන්න! ඔවුන් දුටුවේ තමන් පසු පස පෙරට ඇදෙන ඊජිප්තුවරුන් ය. ඉන් මහත් භයට පත් ඔවුහු, ස්වාමින්වහන්සේට මොර ගසන්නට වන්හ. ඔවුහු මෝසෙස් අමතමින්, “නුඹ මේ කාන්තාරයේ මැරී යන්නට අප ගෙන ආවේ ඊජිප්තුවේ මිනීවළවල් නැති නිසා ද? ඊජිප්තුවෙන් පිටට අප ගෙන ඒමෙන්, නුඹ අපට මේ කර ඇත්තේ කුමක් ද? ‘අපට ඉන්නට හරින්න. ඊජිප්තුවරුන්ට මෙහෙ කරන්නට ඉඩ දෙන්නැයි ඊජිප්තුවේදී අප නුඹට කීවේ මෙනිසා නො වේ ද?’ මේ කාන්තාරයේ නැසී යනවාට වඩා ඊජිප්තුවරුන්ට මෙහෙ කරමින් සිටියා නම් අපට හොඳ යැ” යි කීහ.

Free Reading Plans and Devotionals related to නික්මයාම 14:1-12