නික්මයාම 12:21-30
නික්මයාම 12:21-30 SCV
ඉන්පසු මෝසෙස් ඉශ්රායෙල් වැඩිහිටි හැම දෙනා කැඳවා, ඔවුන් අමතමින්, “දැන් ම ගොස්, ඔබේ පවුල්වලට අනුකූලව බැටළු පැටවුන් තෝරා ගෙන, පාස්කු බැටළුවා මරන්න. හිසොප් ඉත්තක් ගෙන, බඳුනේ ඇති ලෙයෙහි එය ගිල්වා, උළුවහු කඳ දෙකේ හා එහි උඩු කෙළවරේ ලේ ගාන්න. නුඹලාගෙන් කිසිවකු හෝ උදය වන තෙක්, තම ගෙයින් පිටතට නො යා යුතුයි. ඊජිප්තුවරුන්ට පහර දීමට ස්වාමින්වහන්සේ දේශය ඔස්සේ ගමන් ගනිද්දී, උළුවහු කඳේ මුඳුනත හා එහි කඳ දෙකේ ලේ දැක එම දොරකඩ පසු කර යන සේක්, ඔබේ ගෙවලට වැද, ඔබට පහර දෙන්නට විනාශකයාට ඉඩ නො දෙන සේක. “මෙම පිළිවෙත ඔබත්, ඔබේ දරු පරපුරත් නිත්‍ය නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය. උන්වහන්සේ පොරොන්දු වූ පරිදි, ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුල් වූ කල, මෙම පිළිවෙත පිළිපැදිය යුතු ය. ‘මෙම පිළිවෙතින් කුමක් අදහස් කෙරේ දැ?’ යි ඔබගේ දරුවන් ඔබෙන් ඇසූ කල, ඔබ කිව යුත්තේ, ‘මෙය ස්වාමින්වහන්සේගේ පාස්කු යාග පූජාව ය. මන්ද උන්වහන්සේ ඊජිප්තුවරුන්ට පහර දුන් අවස්ථාවේ, ඊජිප්තුවේ ඉශ්රායෙල්වරුන්ගේ නිවෙස් පසු කර ගිය සේක්, අපේ නිවෙස් ඉතිරි කළ සේක’ කියා” යැයි පැවසී ය. එවිට ජනයා හිස් බිමට නමා නමස්කාර කළහ. ඉශ්රායෙල් ජනයා පිටත් ව ගොස්, ස්වාමින්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ කළ පරිදි කළහ. මැදියම් රැයේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට, එනම් සිහසුන දැරූ පාරාවෝගේ කුලුඳුලා පටන්, දඟ ගෙයි සිරකරුවාගේ කුලුඳුලා දක්වා ද ඇති කරන සතුන්ගේ සියලු කුලුඳුලන්ට ද පහර දුන් සේක. පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීහු ද සියලු ඊජිප්තුවරු ද ඒ රැයේ නැගිටුණහ. ඊජිප්තුවෙහි මහා වැලපීමක් නැගිණි. මන්ද කිසිවකු හෝ නො මළ එක ගෙයකුදු නො වී ය.





