එස්තර් 4
4
මොර්දෙකයි එස්තර් මැදහත් කර ගැනීම
1සිදුකෙරී ඇති සියලු දෑ ගැන දැනගත් මොර්දෙකයි, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, අළු තවරාගෙන, පුරවර මධ්‍යයට පිවිස, මහ හඬින්, දැඩි සොවින් විලාප නගන්නට විය. 2ඔහු රජ වාසල පිවිසුම තෙක් ගියේ ය. මන්ද, ගෝණි රෙදි හැඳි කිසිවකුට රජ වාසල පිවිසුමෙන් ඇතුළු වීමට අවසර නො ලැබේ. 3රජුගේ නියෝගයත්, විධානයත් පැමිණි සෑම ප්‍රාන්තයක ම යුදෙව් ජනයා අතරෙහි මහත් වැලපීමක් විය. ඔවුහු නිරාහාර ව සිට, හැඬූහ; විලාප නැගූහ. බොහෝ දෙනෙක් ගෝණි රෙදි ඇඳ, අළු මත වැතිර ගත්හ.
4එස්තර්ගේ පරිවාර ළඳුන් ද ඇගේ සේවක නපුංසකයින් ද පැමිණ, මෙපවත් ඇයට පැවසූ කල, ඈ මහත් සංවේගයට පත් වූවා ය. මොර්දෙකයි හැඳ සිටි ගෝණි රෙදි ගලවා දමා, ඔහුට හැඳ ගැනීමට ඇඳුම් ඈ මොර්දෙකයි වෙත යැව්වා ය. එහෙත් ඔහු ඒවා පිළිගත්තේ නැත. 5එවිට තමාට මෙහෙ කරන පිණිස පත් කරනු ලැබ සිටි රජුගේ නපුංසකයින්ගෙන් කෙනකු වූ හතාක් කැඳවූ එස්තර්, මොර්දෙකයි වෙත ගොස්, මේ මොකද, කුමක් නිසා දැයි විමසා දැනගන්නා ලෙස ඔහුට නියෝග කළා ය.
6එබැවින් හතාක්, රජ වාසල ඉදිරිපිට නගර එළිමහන් පිටියේ සිටි මොර්දෙකයි හමුවට ගියේ ය. 7මොර්දෙකයි එවිට, යුදෙව් ජනයා විනාශ කරනු පිණිස රාජ්‍ය-භාණ්ඩාගාරයට ගෙවීමට හාමාන් පොරොන්දු වූ නියම මුදල් ප්‍රමාණය ඇතුළු ව තමාට සිදුව ඇති සියලු දේ ඔහුට පැවසී ය. 8තවද ඔවුන් සමූලඝාතන කිරීම සඳහා ෂූෂන්හි නිවේදන කොට ප්‍රකාශ කර තිබූ රාජ-නියෝග ලියවිල්ලේ පිටපතක් ද මොර්දෙකයි ඔහුට දුන්නේ, එස්තර්ට පෙන්වා, පැහැදිලි කර දී, රජු ඉදිරියට ගොස්, ඇගේ ජනයා උදෙසා දයාව ඉල්ලා, රජුට කන්නලව් කරන්නැයි උදක් ම ඉල්ලන ලෙස ඇයට නියෝග කරන ලෙස කීවේ ය.
9හතාක් ආපසු ගොස්, මොර්දෙකයි පැවසූ දෑ එස්තර්ට වාර්තා කළේ ය. 10එවිට එස්තර්, හතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගොස්, මෙසේ කියන්නට අණ කළා ය. 11“රජුගේ කැඳවීමක් නැතිව, රජු හමුවට ඇතුළු මළුවට යන පුරුෂයකුට වුවත්, ස්ත්‍රියකට වුවත්, බලපවත්නේ මරා දමනු ලැබීම යන එක ම නීතියක් වග රජුගේ සියලු නිලධාරීහු ද රජුගේ ප්‍රාන්ත ජනයා ද දත්හ. ඒ අයගේ ජීවිතය රැකෙන්නේ, රජු ඒ අය වෙත රන් රාජ සෙංකෝලය දිගු කළොත් පමණි. එහෙත් තිස් දවසක් ම රජු වෙත ඇතුළට මා කැඳවනු ලැබුවේ නැතැ” යි කීවා ය.
12එස්තර් කී දෑ ඔවුන් මොර්දෙකයිට දැන් වූ කල, 13මොර්දෙකයි ඔවුන් අත එස්තර්ට පිළිතුරු ලෙස මෙසේ කියා යැවී ය: “සිතන්න එපා රජුගේ මාලිගාවේ සිටින නිසා සියලු යුදෙව් ජනයා අතරින් ඔබ පමණක් ගැලවේය කියා. 14මොකද මේ අවස්ථාවේ ඔබ නිශ්ශබ්ද ව සිටියොත්, යුදෙව්වරුන්ගේ සරණය හා මිදීම වෙනත් තැනකින් නැගේවි. එහෙත්, ඔබත්, ඔබේ පිය-වංශයත් විනාශ වී යාවි; මන්ද ඔය රාජකීය තනතුරට ඔබ පත් වූයේ, මේ වාගේ අවස්ථාවක් උදෙසා ම නො වේ දැයි කවුරු දනිත් ද?”
15එවිට එස්තර්, මොර්දෙකයිට ඔවුන් අත පිළිතුරු යවමින්, 16“ගොස්, ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් එක් රැස් කර, මා උදෙසා උපවාසයක් කරන්න. තුන් දවසක් රෑ දාවල් කිසිවක් නො කා, නො බී සිටින්න. ඔබ කරන්නා වගේ මමත්, මගේ පරිවාර ළඳුන් සමඟ උපවාසයේ යෙදෙන්නෙමි. ඉන්පසු, නීතියට පටහැනි වුවත්, මම රජු වෙත යන්නෙමි. ඉතින්, මා වැනසුනොත් වැනසුනා වේ” යි දැන්වූවා ය.
17එබැවින්, මොර්දෙකයි පිටත් ව ගොස්, එස්තර් අණ කළ අයුරින් හැම දෙයක් ම කළේ ය.
Currently Selected:
එස්තර් 4: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.