එස්තර් 4:1-11
එස්තර් 4:1-11 SCV
සිදුකෙරී ඇති සියලු දෑ ගැන දැනගත් මොර්දෙකයි, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, අළු තවරාගෙන, පුරවර මධ්‍යයට පිවිස, මහ හඬින්, දැඩි සොවින් විලාප නගන්නට විය. ඔහු රජ වාසල පිවිසුම තෙක් ගියේ ය. මන්ද, ගෝණි රෙදි හැඳි කිසිවකුට රජ වාසල පිවිසුමෙන් ඇතුළු වීමට අවසර නො ලැබේ. රජුගේ නියෝගයත්, විධානයත් පැමිණි සෑම ප්‍රාන්තයක ම යුදෙව් ජනයා අතරෙහි මහත් වැලපීමක් විය. ඔවුහු නිරාහාර ව සිට, හැඬූහ; විලාප නැගූහ. බොහෝ දෙනෙක් ගෝණි රෙදි ඇඳ, අළු මත වැතිර ගත්හ. එස්තර්ගේ පරිවාර ළඳුන් ද ඇගේ සේවක නපුංසකයින් ද පැමිණ, මෙපවත් ඇයට පැවසූ කල, ඈ මහත් සංවේගයට පත් වූවා ය. මොර්දෙකයි හැඳ සිටි ගෝණි රෙදි ගලවා දමා, ඔහුට හැඳ ගැනීමට ඇඳුම් ඈ මොර්දෙකයි වෙත යැව්වා ය. එහෙත් ඔහු ඒවා පිළිගත්තේ නැත. එවිට තමාට මෙහෙ කරන පිණිස පත් කරනු ලැබ සිටි රජුගේ නපුංසකයින්ගෙන් කෙනකු වූ හතාක් කැඳවූ එස්තර්, මොර්දෙකයි වෙත ගොස්, මේ මොකද, කුමක් නිසා දැයි විමසා දැනගන්නා ලෙස ඔහුට නියෝග කළා ය. එබැවින් හතාක්, රජ වාසල ඉදිරිපිට නගර එළිමහන් පිටියේ සිටි මොර්දෙකයි හමුවට ගියේ ය. මොර්දෙකයි එවිට, යුදෙව් ජනයා විනාශ කරනු පිණිස රාජ්‍ය-භාණ්ඩාගාරයට ගෙවීමට හාමාන් පොරොන්දු වූ නියම මුදල් ප්‍රමාණය ඇතුළු ව තමාට සිදුව ඇති සියලු දේ ඔහුට පැවසී ය. තවද ඔවුන් සමූලඝාතන කිරීම සඳහා ෂූෂන්හි නිවේදන කොට ප්‍රකාශ කර තිබූ රාජ-නියෝග ලියවිල්ලේ පිටපතක් ද මොර්දෙකයි ඔහුට දුන්නේ, එස්තර්ට පෙන්වා, පැහැදිලි කර දී, රජු ඉදිරියට ගොස්, ඇගේ ජනයා උදෙසා දයාව ඉල්ලා, රජුට කන්නලව් කරන්නැයි උදක් ම ඉල්ලන ලෙස ඇයට නියෝග කරන ලෙස කීවේ ය. හතාක් ආපසු ගොස්, මොර්දෙකයි පැවසූ දෑ එස්තර්ට වාර්තා කළේ ය. එවිට එස්තර්, හතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගොස්, මෙසේ කියන්නට අණ කළා ය. “රජුගේ කැඳවීමක් නැතිව, රජු හමුවට ඇතුළු මළුවට යන පුරුෂයකුට වුවත්, ස්ත්‍රියකට වුවත්, බලපවත්නේ මරා දමනු ලැබීම යන එක ම නීතියක් වග රජුගේ සියලු නිලධාරීහු ද රජුගේ ප්‍රාන්ත ජනයා ද දත්හ. ඒ අයගේ ජීවිතය රැකෙන්නේ, රජු ඒ අය වෙත රන් රාජ සෙංකෝලය දිගු කළොත් පමණි. එහෙත් තිස් දවසක් ම රජු වෙත ඇතුළට මා කැඳවනු ලැබුවේ නැතැ” යි කීවා ය.





