YouVersion Logo
Search Icon

එස්තර් 2

2
එස්තර් තෝරා ගැනීම
1මින් අනතුරුව, අහෂ්වේරොෂ් රජුගේ කෝපය සංසිඳී ගිය කල ඔහු වෂ්තී ගැනත්, ඇය කර තිබූ දේ ගැනත්, ඇයට එරෙහිව පනවා තිබූ නියෝගය ගැනත් සිත් යොමු කළේ ය. 2එවිට රජුට මෙහෙවර කළ පරිවාරකයෝ රජුට කතා කරමින්, “රජු උදෙසා රූමත් තරුණ කන්‍යාවන් සොයන්නට කටයුතු කෙරේවා! 3ඒ සියලු රූමත් යොවුන් කන්‍යා ළඳුන් බළකොටු නුවර වූ ෂූෂන්හි අන්තඃපුරය වෙත ගෙන ඒමට, රජු තම රාජධානියේ හැම ප්‍රාන්තයකට ම නිලධාරීන් පත් කෙරේවා. මෙම ළඳුන්, රජුගේ කාන්තාවන් බාර ව සිටින නපුංසක නිලධාරී හේගයිගේ#2:3 හේගයිගේ හෙබ්‍රෙව් හේගේ බාරකාරත්වයට පත් කෙරේවා; එම ළඳුනට රූපලාවණ්‍ය සත්කාර කරනු ලැබේවා! 4ඉන්පසු රජු ප්‍රසන්න කරවන යෞවනිය, වෂ්තී වෙනුවට බිසෝකමට පත් කෙරේවා!” යි පැවසූහ. මෙම උපදෙස රජුට ප්‍රසන්න වූයෙන්, ඔහු ඒ අනුව ක්‍රියා කළේ ය.
5මෙකල මොර්දෙකයි නම් වූ යුදෙව්වරයෙක් ෂූෂන් බළකොටුවේ සිටියේ ය. ඔහු, බෙන්යමින් ගෝත්‍රික කීෂ්ගේ පුත්‍ර, ෂිමෙයිගේ පුත්‍ර, යායීර්ගේ පුත්‍රයා ය. 6කීෂ්, යූදාහි රජු වූ යෙකොනියා සමඟින් යෙරුසලමේ සිට පිටුවහල් කොට ගෙන යන ලද්දවුන් අතරෙහි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් පිටතට ගෙන යන ලද්දවුන් අතරෙහි සිටියේ ය. 7මොර්දෙකයි ඔහුගේ මාමාගේ දියණිය වූ හදස්සා එනම් එස්තර් හදා-වඩා ගත්තේ ය. මන්ද ඇයට පියාවත්, මවවත් සිටියේ නැත. මෙම යෞවනිය, අඟ පසඟින් ද රූ සිරියෙන් ද සොබමන් තැනැත්තියක් වූවා ය. ඇගේ පියාත්, මවත් මළ පසු, මොර්දෙකයි ඇය තමාගේ ම දියණියක කොට ගෙන තිබිණි.
8රජුගේ විධානය හා නියෝගය, නිවේදන කරනු ලැබූ කල, යෞවනියන් බොහෝ දෙනෙක් ෂූෂන් බළකොටුවට ගෙනෙනු ලැබ, හේගයිගේ රැකවරණ යටතට පත් කරන ලදහ. එස්තර් ද රජුගේ මාලිගයට ගෙනෙනු ලැබ, කාන්තාවන් බාරකාර හේගයිගේ බාරකාරත්වයට පත් කරන ලද්දී ය. 9තරුණිය ඔහු ප්‍රසන්න කර, ඔහුගේ ප්‍රසාදය දිනා ගත්තා ය. ඔහු නොපමාව ඇගේ රූපලාවණ්‍ය කටයුතු හා ඇගේ ආහාර සලාකය ද ඇයට ලැබෙන්නට සැලසී ය. ඇගේ ආවතේව සඳහා රාජ මාලිගයේ පරිවාර ළඳුන් හත්දෙනකු පත් කළ ඔහු, අන්තඃපුරය තුළ වූ හොඳ ම තැනක් වෙන් කොට, ඇය ද ඇගේ පරිවාර ළඳුන් ද එහි යැවී ය.
10එස්තර්, තම ජාතිකත්වය හා පවුල් පසුබිම ගැන හෙළි කොට තිබුණේ නැත. ඒ කරුණු හෙළි නො කරන ලෙස මොර්දෙකයි ඇයට අණ කොට තිබිණි. 11එස්තර්ට කෙසේ ද, ඇයට කුමක් වන්නේ දැයි දැනගනු පිණිස, මොර්දෙකයි හැම දවසක ම අන්තඃපුර මිදුල අසල ඔබ මොබ ඇවිද්දේ ය.
12තරුණියක, අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසීමේ වාරය ලබන්නට පළමු, ඇය පුරා දොළොස් මසක් කාන්තාවනට නියමිත රූපලාවණ්‍ය සත්කාරය ද හය මසක් සුවඳලාටු තෙල් ගැල්වීම ද හය මසක් සුවඳ පැන් හා සුවඳ විලේපන ආලේපය ද යන පිළිවෙත සම්පූර්ණ කළ යුතු විය. 13ඇය රජු වෙත යා යුතු වූයේ මෙසේ ය: අන්තඃපුරයෙන් ඇය කැමති කවර දෙයක් වුව රජ මැදුරට ගෙන යන්නට ඇයට අවසර ලැබේ. 14සවස් කල රජු වෙත එහි යන ඇය පසු දා උදෑසන අන්තඃපුරයේ වෙනත් කොටසකට යන්නී ය. එහිදී ඈ රජුගේ අතිරේක භාර්යාවන් බාර නපුංසක නිලධාරී ෂාෂ්ගාස්ගේ බාරකාරත්වයට පත් වන්නී ය. රජු ඇය කෙරේ ප්‍රසන්න වී, ඇගේ නම කියා කැඳවූවොත් මිස, යළිත් ඈ රජු වෙත නො යන්නී ය.
15මොර්දෙකයිගේ මාමා වූ අබිහයිල්ගේ දියණිය, තම දියණිය සේ හැදූ-වැඩූ යෞවනිය, එස්තර්ට රජු වෙත යාමේ වාරය එළැඹුණු කල ඈ, රජුගේ අන්තඃපුර බාර නපුංසක නිලධාරී හේගයි උපදෙස් දෙන ලද දෑ හැර අන් කිසිවක් නො ඉල්ලුවා ය. තවද එස්තර්, ඇය දුටු හැම කෙනකුගේ ම ප්‍රසාදය දිනා ගත්තා ය. 16රජුගේ රාජත්වයේ හත් වන වසරේ, දස වන මස වන ටේබෙත් නම් වූ මස එස්තර්, අහෂ්වේරොෂ් රජු වෙත, රජුගේ මන්දිරය වෙත ගෙන යන ලද්දී ය.
17රජුගේ සිත සෙසු අන් හැම ළඳකට ම වඩා, එස්තර් වෙත ඇදී ගියේ ය. සෙසු කන්‍යාවන් කවරකුටත් වඩා, රජුගේ ප්‍රසාදය හා මනාපය එස්තර් දිනා ගත්තා ය. එබැවින් ඔහු ඇගේ හිසේ රාජකීය ඔටුන්න පලඳා, වෂ්තී වෙනුවට ඇය තම බිසව කර ගත්තේ ය. 18රජු තමාගේ සියලු අධිපතීන්ටත්, නිලධාරීන්ටත් මහා ප්‍රිය සාදයක් පැවැත්වී ය. එය එස්තර්ගේ ප්‍රිය සාදය විය; ප්‍රාන්ත රාජ්‍යයන් පුරා නිවාඩු දවසක් ප්‍රකාශයට පත් කළ හෙතෙම, රාජකීය ත්‍යාගවත්කමින් තෑගි බෙදා දුන්නේ ය.
මොර්දෙකයි කුමන්ත්‍රණයක් හෙළි කරයි
19කන්‍යාවන් දෙවන වර රැස්කරවන කල මොර්දෙකයි රජ වාසල හිඳගෙන සිටියේ ය. 20මොර්දෙකයි කියා තිබූ පරිදි, එස්තර් තම පවුල් පසුබිම හා තම ජාතිය පිළිබඳව රහසේ තබාගෙන සිටියා ය. ඔහු තමන් ඇතිදැඩි කළ කල්හි කළාක් මෙන්, ඈ දිගට ම මොර්දෙකයිගේ උපදෙස් පිළිපැද්දා ය.
21මොර්දෙකයි රජ වාසල හිඳ සිටි දවස්හි වාසල්-කඩ රැකවල් කළ රජුගේ නපුංසක නිලධාරීන් වූ බිග්තාන් හා තෙරෙෂ් උදහස් වී, අහෂ්වේරොෂ් රජු ඝාතන කිරීමට කුමන්ත්‍රණ කළහ. 22එහෙත් මෙම කුමන්ත්‍රණය දැනගත් මොර්දෙකයි, එස්තර් බිසවට ඒ වග දැනුම් දුන්නේ ය. මේ වග දැන්වූයේ මොර්දෙකයි වග ඈ, රජුට දැනුම් දුන්නා ය. 23මෙම තොරතුර විභාග කළ කල්හි, එය සත්‍යයක් බැව් සොයා ගන්නා ලදින්, එම නිලධාරීන් දෙදෙනා පෝරකයේ එල්ලා මරන ලදහ. මේ සියලු කරුණු රාජ්‍ය-තොරතුරු ඉතිහාස පොතේ, රජු ඉදිරියේ සටහන් කරන ලදී.

Currently Selected:

එස්තර් 2: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in