YouVersion Logo
Search Icon

ද්විතීය 29

29
ගිවිසුම අලුත් කිරීම
1 ස්වාමින්වහන්සේ හොරේබ්හි දී ඉශ්‍රායෙල් ජනයා සමඟ ඇතිකර ගෙන තිබූ ගිවිසුමට අමතරව, මෝවබ් දේශයේදී ඔවුන් සමඟ ඇතිකර ගැනීමට උන්වහන්සේ මෝසෙස්ට අණ කළ ගිවිසුමේ කොන්දේසි මේවා ය.
2මෝසෙස් මුළු ඉශ්‍රායෙල්වරුන් කැඳවා, ඔවුන් අමතමින් මෙසේ පැවසී ය:
ඊජිප්තුවේ පාරාවෝටත්, ඔහුගේ නිලධාරීන්ට හා ඔහුගේ මුළු දේශයටත් ස්වාමින්වහන්සේ කළ සියල්ල ඔබගේ ම ඇස්වලින් ඔබ දුටුවහ. 3ඒ මහා පරීක්ෂා ද ඒ හාස්කම් ලකුණු හා මහ පුදුම ද ඔබේ ම ඇස්වලින් ඔබ දුටුවහ. 4එහෙත් වටහා ගැනීමේ මනසක් ද දැකීමේ ඇස් හා ඇසීමේ කන් ද ස්වාමින්වහන්සේ මේ දවස දක්වාත් ඔබට දී නැත. 5“පාළුකරය ඔස්සේ මා ඔබට මග පෙන් වූ හතළිස් වසර ඇතුළත ඔබ ඇඟ ලා සිටි ඇඳුම් පරණ වූයේවත්, ඔබ පය ලා සිටි වහන් ගෙවී ගියේවත් නැත. 6ඔබ රොටි අනුභව කළේ නැත; මිදි යුෂ හෝ මත්පැනක් පානය කළේ ද නැත. මා එසේ කළේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග ඔබ දැනගන්නා පිණිස ය.”
7ඔබ මේ ස්ථානයට ළඟා වූ කල, හෙෂ්බෝන්හි රජු වූ සීහොන් ද බාෂාන්හි රජු වූ ඕග් ද අපට එරෙහිව සටනට ආහ. එහෙත් අපි ඔවුන් පැරදවීමු. 8අපි ඔවුන්ගේ දේශය අල්ලාගෙන, රූබෙන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේ ගෝත්‍ර අර්ධයටත් උරුමයක් කොට දුන්නෙමු.
9එබැවින් ඔබ කරන හැම දේකදී ඔබ සඵල වන පිණිස, මේ ගිවිසුමේ වචන ඕනෑකමින් පිළිපදින්න. 10ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ සැවොම අද සිටගෙන සිටිති. ඔබේ නායකයින් ද ඔබේ ප්‍රධානීන් ද ඔබේ වැඩිහිටියන් හා නිලධාරීන් ද ඉශ්‍රායෙල් ජාතික සෑම පුරුෂයන් ද 11සමඟ ඔබේ දරුවන් ද ඔබේ භාර්යාවන් ද ඔබේ කඳවුරේ වෙසෙමින් ඔබට දර-දිය අදින විදෙස්සන් ද යන අය වේ. 12ඔබ මෙහි සිටගෙන සිටින්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුමටත්, අද දවසේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ඇති කරන දිවුරුමටත් එළැඹීමට ය. 13ඒ, ඔබට උන්වහන්සේ පොරොන්දු වූ පරිද්දෙන් හා ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද උන්වහන්සේ දිවුළ පරිද්දෙන් උන්වහන්සේ ඔබගේ දෙවියන්වහන්සේ වන ලෙස, ඔබ උන්වහන්සේගේ ජනයා වශයෙන් අද ස්ථිර කරන පිණිස ය. 14මෙම දිවුරුම සහිත ගිවිසුම මා කරන්නේ, ඔබ හා සමඟ පමණක් නො වේ, 15අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ අද අප සමඟ මෙහි සිටගෙන සිටින ඔබ සමඟ මෙන් ම අද මෙතැන නැති අය සමඟත් ය.
16ඊජිප්තුවේදී අපි ජීවත් වුණේ කොහොම ද, රට-රටවල් පසු කරමින් මෙතැන් දක්වා අපි ආවේ කොහොමදැයි ඔබ දනී. 17ඔවුන්ගේ පිළිකුල්කම් වන ලීයෙන්, ගලින්, රිදීයෙන් හා රනින් කළ ඔවුන්ගේ පිළිම ඔවුන් අතරෙහි ඔබ දුටුවහ. 18ඒ ජාතීන්ගේ දෙවි දේවතාවුන්ට නමස්කාර කරන්නට අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙතින් ඉවත හැරී යන හදක් ඇති කිසි ම මිනිසකු හෝ කාන්තාවක හෝ පෙළපතක් හෝ ගෝත්‍රයක් හෝ අද දවසේ ඔබ අතරේ නො සිටින හැටියට වග බලා ගන්න. එවැනි ඝෝර විසක් හටගන්වන මුලක් ඔබ අතරේ නො තිබෙන සේ වග බලා ගන්න.
19එබඳු වූවකු මෙම දිවුරුමේ වචන අසා, තමන් ගැන ම සෙත් පතමින්, “මගේ මුරණ්ඩු මාවතේ යෑමෙහි මා එල්බගෙන සිටියත්, මා සුරක්ෂිත යැ” යි සිතතොත්, එය තෙත් බිමට මෙන් ම වියළි බිමට ද විපත්තිය ගෙන ඒමකි. 20ඔහුට කමා කිරීමට ස්වාමින්වහන්සේ කැමති නො වේ. උන්වහන්සේගේ උදහසත්, ජ්වලිතයත් ඒ මිනිසාට එරෙහිව ඇවිළෙනු ඇත. මේ පොතේ ලියන ලද සියලු ම ශාප ඔහු මත පතිත වනු ඇත. ඔහුගේ නාමය ද ස්වාමින්වහන්සේ අහස් තලය යටින් මකා දමන සේක. 21මෙම නීති පොතේ ලියන ලද ගිවිසුමේ සියලු ශාපවලට අනුව, ස්වාමින්වහන්සේ සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරින් විපත්තිය සඳහා ඔහු තෝරා ගන්නා සේක.
22ඔබට පසුව මතු පරම්පරාවන්හි දී එන ඔබේ දරු පරපුර හා දුර රටවලින් එන විදෙස්සන් මේ දේශයට සිදු වී ඇති විපත්තිය හා ස්වාමින්වහන්සේ ඊට පමුණුවා ඇති ලෙඩ රෝග දකිනු ඇත. 23මුළු දේශය ම කිසිවක් නො වැවෙන, කිසිවක් දළු නො දමන, තණ පතක් පවා නැති, ලුණු හා ගෙන්දගමින් යුතු දැවී-පාළු වූ බිමක් ව තිබෙනු ඇත. දැඩි කෝපයෙන්, ස්වාමින්වහන්සේ බිඳ හෙළූ සොදොම් හා ගොමොරාවේත්, අද්මා හා සෙබොයිම්හිත් විනාශයට එය සමාන වනු ඇත. 24“මේ දේශයට ස්වාමින්වහන්සේ මෙසේ කර ඇත්තේ ඇයි? ඇයි ද මේ දැවෙන දැඩි කෝපය යැ?” යි සියලු ජාතීන් අසනු ඇත.
25ඊට පිළිතුර වනු ඇත්තේ, “ඊට හේතුව ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම, උන්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ කල්හි ඔවුන් සමඟ උන්වහන්සේ කළ ගිවිසුම ඔවුන් කඩ කිරීමයි. 26ඔවුහු ඉවත් ව ගොස්, තමන් නො දැන සිටි, උන්වහන්සේ විසින් ඔවුනට නුදුන් දෙවිවරුන්ට සේවය කරමින්, නමස්කාර කළ බැවිනි. 27එබැවින් මේ පොතේ ලියවුණු සියලු ශාප, උන්වහන්සේ මේ දේශය මතට පමුණු වන ලෙසට, ස්වාමින්වහන්සේගේ උදහස මේ දේශයට එරෙහිව ඇවිළිණි. 28ස්වාමින්වහන්සේ උග්‍ර කෝපයෙන් හා බලවත් උදහසින් ඔවුන්ගේ දේශයෙන් ඔවුන් මුලිනුදුරා, අද සිදුව ඇති පරිදි වෙනත් දේශයකට ඔවුන් නෙරපා දැමූ සේක” යනුවෙනි.
29සැඟවී ඇති දෑ අයිති අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. එහෙත් එළිදරවු වී ඇති දෑ සදහට ම අයිති අපටත්, අපේ දරුවන්ටත් ය. එසේ වන්නේ, මේ නීති සංග්‍රහයෙහි සියලු වචන අප අනුගමන කරන පිණිස ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in