YouVersion Logo
Search Icon

ද්විතීය 30

30
පසුතැවිලි වීම හා මතු ආශිර්වාදය
1මා, ඔබ ඉදිරියේ තැබූ මේ සියලු ආශිර්වාද හා ශාප ඔබ වෙත පැමිණි පසු, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජාතීන් අතරේ ඔබ විසුරුවන ලද කොතැනදී වුව, ඔබ ඒවා සිතට ගෙන, 2ඔබත්, ඔබේ දරුවනුත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු හැරී, මා අද ඔබට අණ කරන සියල්ල පරිදි, ඔබේ මුළු හදින් හා ඔබේ මුළු ජීවයෙන් උන්වහන්සේගේ කටහඬට කීකරු වූ කල, 3ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ භාග්‍යයෙහි ඔබ යළි පිහිටුවා, ඔබට අනුකම්පා කොට, උන්වහන්සේ ඔබ විසුරුවා හැර තිබූ සියලු ජාතීන් වෙතින් යළි ඔබ එක් රැස් කරන සේක. 4අහස් කුස යට ඈත දුර රටකට ඔබ පිටුවහල් කරනු ලැබ සිටිය ද, එහි සිට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ එක් රැස් කර, ආපසු ගෙනෙන සේක. 5ඔබේ පියවරුනට අයිති ව තිබූ දේශයට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගෙන එන සේක. ඒ, ඔබ විසින් ඒ දේශය අත්පත් කර ගනු ලබන පිණිස ය. උන්වහන්සේ, ඔබේ පියවරුන්ට වඩා ගණනින් ද සමෘද්ධියෙන් ද ඔබ බහුල කරවන සේක. 6ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හදින් හා ඔබේ මුළු ජීවයෙන් ප්‍රේම කර, ජීවනය ලබන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ හදවත් හා ඔබෙන් පැවත එන්නන්ගේ හදවත් චර්මඡේද කරන සේක. 7ඔබට ද්වේෂ කරමින්, ඔබට පීඩා කරන ඔබේ සතුරන් පිට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ සියලු ශාප තබන සේක. 8ඔබ නැවතත් ස්වාමින්වහන්සේගේ හඬට කීකරු වී, අද මා ඔබට දෙන උන්වහන්සේගේ මේ සියලු ආඥා පිළිපදිනු ඇත. 9එවිට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ අත්වල සියලු වැඩ ද ඔබේ ගර්භයේ පලය ද ඔබේ සත්ව රංචුවල පැටවුන් හා ඔබේ භූමියේ අස්වැන්න ද අතිශයෙන් සඵල වන්නට සලසන සේක. ස්වාමින්වහන්සේ ඔබේ පියවරුන් ගැන ප්‍රීති ප්‍රමෝද වූ සේ ම, ඔබ ගැනත් යළි ප්‍රීති ප්‍රමෝද වී, ඔබ සඵලවත් කරන සේක. 10එසේ වන්නේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට ඔබ කීකරු වී, මෙම නීති සංග්‍රහ පොතේ සඳහන් උන්වහන්සේගේ ආඥා හා නියෝග පිළිපදිමින්, ඔබේ මුළු හදින් හා ඔබේ මුළු ජීවයෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත හැරුණහොත් ය.
ජීවනය හෝ මරණය
11අද මා ඔබට අණ කරන මෙම ආඥාව ඔබට ඉතා අසීරු නො වේ: ළඟා විය නො හැකි තරමේ දුර ද නො වේ. 12“අප එය පවත්වන්නට, ස්වර්ගයට නැගී, එය ලබාගෙන, අපට ප්‍රකාශ කරන්නේ, කවරෙක් දැ?” යි ඇසීමට එය ඉහළ ස්වර්ගයේ තිබෙනවා ද නො වේ. 13“අප එය පවත්වන්නට එය ලබාගෙන, අපට ප්‍රකාශ කරන්නට, සයුර තරණය කරන්නේ කවුරුන් දැ?” යි ඇසීමට එය සයුරෙන් එහා තිබෙනවා ද නො වේ. 14මෙන්න! වචනය ඇත්තේ ඔබට ඉතා සමීප ව ය; ඔබට එය පවත්වන්නට හැකි වනු පිණිස, එය ඇත්තේ ඔබේ මුවෙහි ය. ඔබේ හදවතේ ය.
15මෙන්න! ජීවනය හා සඵලත්වයත්, මරණය හා විනාශයත් අද මම ඔබ ඉදිරියේ තබමි. 16ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන ලෙසත්, උන්වහන්සේගේ මාර්ගයන්හි ගමන් කරන ලෙසත්, උන්වහන්සේගේ ආඥා, උන්වහන්සේගේ නියෝග හා නියමයන් පිළිපදින ලෙසත් අද මම ඔබට අණ කරමි. එවිට ඔබ ජීවත් වී, වැඩි වර්ධනය වනු ඇත. අත්පත් කර ගන්නට ඔබ ඇතුළු වන දේශයේදී ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක.
17එහෙත් ඔබේ හදවත ඉවත හැරී, ඔබ කීකරු නො වෙතොත්, වෙනත් දෙවිවරුනට නමස්කාර කරන්නට හා සේවය කරන්නට ඔබේ සිත් ඇදී ගියහොත්, 18නිසැකයෙන් ම ඔබ විනාශ වී යන බැව් අද දවසේ මම ඔබට ප්‍රකාශ කරමි; යොර්දානෙන් එතෙර වී, අත්කර ගැනීමට ඔබ ඇතුළු වන දේශයේ දිගු කලක් ඔබ ජීවත් වන්නේ ද නැත.
19ජීවනය හා මරණයත්, ආශිර්වාද හා ශාපත් මා ඔබ ඉදිරියෙහි තැබූ බවට ඔබට එරෙහිව සාක්ෂි පිණිස අද මම අහසත්, පොළොවත් කැඳවමි. එබැවින්, ජීවනය තෝරා ගන්න. එසේ කළ යුත්තේ, ඔබත්, ඔබේ දරුවනුත් ජීවත් වන පිණිසත්, 20ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ කටහඬට සවන් දෙමින්, උන්වහන්සේට ඇලුම් ව සිටින පිණිසත් ය. ඔබේ ජීවනය උන්වහන්සේයි. එවිට ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් දෙන්නට උන්වහන්සේ දිවුළ දේශයේදී උන්වහන්සේ ඔබට දීර්ඝායු දෙන සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in