YouVersion Logo
Search Icon

දානියෙල් 6

6
සිංහ ගුහාව තුළ
1රාජ්‍යය මුළුල්ලේ දේශාධිපතීන් එකසිය විසිදෙනකු පත් කිරීමට දාරෙයාවෙෂ් රජු මනාප විය. 2ඔවුනට ඉහළින් පරිපාලනාධිපතීන් තුන් දෙනෙකි; ඉන් එක් කෙනකු වූයේ දානියෙල් ය. රජුට අවැඩක් සිදු නො වන ලෙසට දේශාධිපතීන් වගකිව යුතු වූයේ, මෙම පරිපාලනාධිපතීන්ට ය. 3පරිපාලනාධිපතීන් හා දේශාධිපතීන් අතරේ දානියෙල් තුළ පැහැදිලි ව දක්නට ලැබුණු විශිෂ්ට ගති ස්වභාව නිසා, අන් හැමට ඉහළින් මුළු රාජධානිය සඳහා ම දානියෙල් පත් කිරීමට රජු අදහස් කළේ ය. 4එබැවින් සෙසු පරිපාලනාධිපතීහු හා දේශාධිපතීහු රාජ්‍ය-කටයුතුවලදී දානියෙල්ගේ ක්‍රියා කලාපයේ ඔහුට එරෙහිව යම් චෝදනාවක් අල්ලා ගැනීමට වෑයම් කළහ. එහෙත් එවැන්නක් සොයා ගැනීමට ඔවුනට නො හැකි විය. ඔහු විශ්වාසවන්ත කෙනකු වූ නිසාත්, දූෂිත හෝ නො සැලකිලිමත් කෙනකු නො වූ නිසාත් ඔහු තුළ යම් දුර්ගුණයක් ඔවුන්ට හමු වූයේ නැත. 5අවසානයේදී ඔවුහු, “මොහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාළ යම් කරුණක් ගැන මිස, මේ දානියෙල්ට එරෙහි චෝදනාවකට හේතුවක් අපට කිසි දිනෙක හමු නො වනු ඇතැ” යි කීහ.
6පසුව පරිපාලනාධිපතීහු හා දේශාධිපතීහු කණ්ඩායමක් වශයෙන් රජු හමුවට ගොස්, රජු ඇමතූහ: “දාරෙයාවෙෂ් රජතුමා සැම කල් දිනේවා! 7රාජ්‍යයේ පරිපාලනාධිපතීන්, ප්‍රදේශාධිපතීන්, දේශාධිපතීන්, උපදේශකයින් හා ආණ්ඩුකාරවරුන් වන අප සැවොම එකඟතාවක් ඇතිකර ගත්තා. රජතුමනි, ඉදිරි දින තිහ අතර තුර ඔබතුමාට හැර අන් දෙවි කෙනකුට හෝ යම් මිනිසකුට හෝ යමකු යාච්ඤා කළහොත් ඔහු සිංහ ගුහාවට හෙළනු ලබන බවට රජතුමා විසින් නියෝගයක් නිකුත් කොට, එම ආඥාව තදින් ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි ඒ. 8අහෝ රජතුමනි, මේදියානු හා පර්සියානුවන්ගේ අවලංගු කළ නො හැකි නීතියට අනුකූලව දැන් එම ආඥාව වෙනස් කළ නො හැකි වන සේ ලේඛනය අත්සන් කරන්න.” 9එබැවින් දාරෙයාවෙෂ් රජ එම ලේඛනය හා ආඥාව අත්සන් කළේ ය.
10එම ලේඛනය අත්සන් තැබූ වග දැනගත් දානියෙල්, තම නිවසට පිවිස, යෙරුසලම දෙසට මුහුණ ලූ ජනෙල් සහිත තම උඩු මහල් කාමරයට ගියේ ය. වෙනදා මෙන් සුපුරුදු පරිදි, දවසට තුන් වරක් තම දෙවියන්වහන්සේ ඉදිරියේ දණ ගැසූ ඔහු ස්තුති පුදමින් යාච්ඤා කළේ ය. 11එකල කණ්ඩායමක් වශයෙන් පැමිණි ඒ මිනිස්සු, දානියෙල් ඔහුගේ දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් ද ආයාචනා කරමින් ද සිටිනු දුටුවහ. 12එබැවින් රජු හමුවට ගිය ඔවුහු, රාජ ආඥාව ගැන කතා කරමින්, “අහෝ රජතුමනි, ඉදිරි දින තිහ අතර තුර ඔබට හැර යම් දෙවි කෙනකුට හෝ මිනිසකුට හෝ යාච්ඤා කරන කවරකු වුව, සිංහ ගුහාවට හෙළා දමන බවට ආඥාවක් ඔබ ප්‍රකාශයට පත් කළා නො වේ දැ?” යි ඇසූහ.
රජු පිළිතුරු දෙමින්, “එසේය, නියමය වලංගුව පවතී. මේදියානු හා පර්සියානුවන්ගේ අවලංගු කළ නො හැකි නීතියට එය අනුකූල යැ” යි පැවසී ය.
13එවිට රජු ඉදිරිපිට ඔවුහු කතා කරමින්, “අහෝ රජතුමනි, යූදාහි පිටුවහලුන්ගෙන් කෙනකු වූ දානියෙල් ඔබටත්, ලිඛිත ව ඔබතුමා පැන වූ ආඥාවටත් කිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. තවමත් ඔහු දවසට තුන් වරක් යාච්ඤා කරතැ” යි කීහ. 14ඒ වචන ඇසූ කල, රජු ඉමහත් සංවේගයට පත් විය. දානියෙල් මුදා ගැනීමට ඉටා ගත් රජු හිරු බසිනා තුරු ඔහු ගලවා ගැනීමට හැම තැතක් ම දැරී ය.
15එකල කණ්ඩායමක් වශයෙන් යළි රජු හමුවට ආ ඒ මිනිස්සු රජු අමතමින්, “අහෝ රජතුමනි, මෙය සිහි තබා ගන්න. මේදියානු හා පර්සියානුවන්ගේ නීතියට අනුව රජු නිකුත් කරන ආඥාවක් හෝ නියෝගයක් හෝ වෙනස් කළ නො හැකි යැ” යි කීහ.
16එබැවින් රජු අණ දුන්නේ ය. දානියෙල් ගෙන එනු ලැබ, සිංහයින්ගේ ගුහාවට හෙළා දමනු ලැබී ය. දානියෙල් ඇමතූ රජු, “නිති පතා ඔබ සේවය කළ ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගලවා ගන්නා සේක්වා” යි කීවේ ය.
17ගලක් ගෙනෙනු ලැබ, ගුහා කට ආවරණ කෙරිණ. දානියෙල් හා අදාළ ව කිසිදු වෙනසක් කළ නො හැකි වන සේ රජු එය තම පේරැස් මුදුවෙන් ද රජුගේ වංශවතුන්ගේ මුදුවලින් ද මුද්‍රා තැබී ය. 18ඉන්පසු ස්වකීය මාලිගයට ආපසු ගිය රජ, රැය ගත කළේ නිරාහාරයෙනි. කිසි විනෝදයක් ඔහු වෙත නො පමුණු වන ලදී; නින්ද ඔහු වෙතින් පලා ගියේ ය.
19අරුණ උදයේ එළිය වැටීගෙන එද්දී නැගිටුණු රජ සිංහයන්ගේ ගුහාව වෙත කඩිනමින් ගියේ ය. 20දානියෙල් සිටි ගුහාව අසලට පැමිණි රජු, බිඳුණු හඬින් දානියෙල්ට හඬ ගසමින්, “එම්බා දානියෙල්, ජීවමාන දෙවියන්වහන්සේගේ සේවකය, සිංහයින්ගෙන් ඔබ ගලවා ගැනීමට නිති පතා ඔබ සේවය කරන ඔබේ දෙවියන්වහන්සේට පුළුවන් වුණාදැ?” යි ඇසී ය.
21දානියෙල් පිළිතුරු දෙමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! 22මගේ දෙවියන්වහන්සේ ස්වකීය දූතයා එවා සිංහයින්ගේ කටවල් පිය වූ සේක. උන් මට අනතුරක් කළේ නැත. මන්ද උන්වහන්සේගේ ඇස් හමුවේ මා නිදොස් වග පෙනී ගොස් ඇති බැවිනි. ඒ ඇරත්, අහෝ රජතුමනි, ඔබ හමුවේත් කිසි කලෙක මම වරදක් නො කළෙමි” යි කීවේ ය.
23එකල ප්‍රීතියෙන් පිනාගිය රජ, දානියෙල් ගුහාවෙන් ගොඩ ගැනීමට අණ දුන්නේ ය. දානියෙල් ගුහාවෙන් ගොඩට ගනු ලැබූ විට, ඔහුට කිසිදු අනතුරක් සිදු වී නැති වග පෙනී ගියේ ය. මන්ද ඔහු තමාගේ දෙවියන්වහන්සේ පිට විශ්වාසය තබා සිටියේ ය.
24කුඩුකේඩුකමින් දානියෙල්ට එරෙහිව චෝදනා කළ මිනිස්සු රජුගේ අණින් අල්ලා ගෙනෙන ලදුව, සිංහයින්ගේ ගුහාවට හෙළන ලදහ. ඔවුන්ගේ දරුවෝ හා බිරියෝ ද ඔවුන් සමඟ එහි හෙළනු ලද්දෝ ය. ඔවුන් ගුහා පත්ලට ළඟා වන්නටත් කලින්, ඔවුන් මැඩලූ සිංහයෝ, ඔවුන්ගේ ඇටකටු සියල්ල ද විකා පොඩිකර දැමූහ.
25ඉක්බිති, දාරෙයාවෙෂ් රජ පොළොව මුළුල්ලෙහි වූ ජනතාවන් ද ජාතීන් ද භාෂාවන් ද යන සියල්ලන් වෙත මෙසේ ලීවේ ය:
“ඔබට බෙහෙවින් සෙත් වේවා!
26“මගේ රාජධානියේ හැම යටත් විජිතයක ජනයා, දානියෙල්ගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාත ව ගෞරව දැක්විය යුතු බවට මම ආඥාවක් නිකුත් කරමි.
“මන්ද ජීවමාන දෙවියන්වහන්සේ උන්වහන්සේ ය.
උන්වහන්සේ සදහට ම පැවත සිටින සේක.
උන්වහන්සේගේ රාජ්‍යය විනාශ කළ නො හැක;
උන්වහන්සේගේ ආධිපත්‍යය නිම වන්නේ නැත.
27උන්වහන්සේ මුදන සේක; ගලවන සේක.
අහසෙහි ද පොළොවෙහි ද
ලකුණු හා පුදුම දක්වන සේක.
සිංහයින්ගේ බලයෙන්
උන්වහන්සේ දානියෙල් මිදූ සේක.”
28මෙසේ දාරෙයාවෙෂ්ගේ පාලන සමයේ හා පර්සියානු කෝරෙෂ්ගේ පාලන සමයේ දානියෙල් සඵලවත් විය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in