YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 21

21
ගිබෙයොන්වරුන්ගේ පළි ගැනීම
1දාවිත්ගේ රාජ සමයේ තුන් අවුරුද්දක් එක දිගට අවුරුද්දෙන් අවුරුද්ද සාගතයක් විය. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගේ මුහුණ සෙවී ය. ස්වාමින්වහන්සේ කතා කරමින්, “මෙය සාවුල් හා ලේ තැවරුණු ඔහුගේ වංශය නිසා ය. මන්ද ඔහු ගිබෙයොන්වරුන් මරා දැමූ බැවිනැ” යි කී සේක.
2රජු එබැවින් ගිබෙයොන්වරුන් කැඳවා, ඔවුන් ඇමතී ය. (ගිබෙයොන්වරු ඉශ්‍රායෙල් ජන කොටසක් නො ව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව ජීවත් ව සිටි පිරිසක් වූහ. ඔවුන් නො මරා ඉතිරි කරන්නට ඉශ්‍රායෙල්වරු දිවුරුම් දී තිබිණ. එහෙත් සාවුල්, ඉශ්‍රායෙල් හා යූදා වෙත තිබූ තම උද්වේගය නිසා, ඔවුන් සමූලඝාතන කර දැමීමට වැර දැරී ය.) 3දාවිත් ගිබෙයොන්වරුන් අමතමින්, “නුඹලා උදෙසා මා කුමක් කළ යුතු ද? ස්වාමින්වහන්සේගේ උරුමය වන ජනතාවට ඔබ විසින් ආශිර්වාද කරන පිණිස, වරද නිවාරණ වන්දියක් වශයෙන් මා කළ යුත්තේ කුමක් දැ?” යි ඇසී ය.
4ගිබෙයොන්වරු ඔහුට පිළිතුරු දෙමින්, “සාවුල් හෝ ඔහුගේ පවුල හෝ සමඟ අපට ඇති කාරණය රිදීයෙන් හෝ රනින් හෝ බේරුමක් කළ හැක්කක් නො වේ. ඉශ්‍රායෙල්හි අන් කෙනකු මරා දැමීමේ වුවමනාවක් ද අපට නැතැ” යි කීහ.
“එසේ නම් නුඹලා ඉල්ලා සිටින්නේ නුඹලා උදෙසා මා කුමක් කළ යුතු ය කියා දැ?” යි එවිට දාවිත් ඇසී ය.
5ඔවුහු රජුට පිළිතුරු දෙමින්, “අප විනාශ කර දැමූ මිනිසා, අප නැති-භංග කර දමන්නටත්, ඉශ්‍රායෙල්හි කොතැනක හෝ අපට උන්හිටි තැන් නැති කර දමන්නටත් අපට එරෙහිව උපා යෙදූ මිනිසා, 6ඔහුගෙන් පැවත එන පිරිමින්ගෙන් හත්දෙනකු අපට දෙනු ලැබේවා! ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන් වන සාවුල්ගේ ගිබෙයාහි දී ස්වාමින්වහන්සේ ඉදිරිපිට අපි ඔවුන් එල්ලා තබන්නෙමු” යි කීහ.
එවිට රජු කතා කරමින්, “මම ඔවුන් දෙන්නෙමි” යි කීවේ ය.
7එහෙත් රජු සාවුල්ගේ පුත් යොනාතාන්ගේ පුත් මෙෆීබොෂෙත් බේරී ය. එසේ කළේ ඔවුන් අතර, එනම් දාවිත් හා සාවුල්ගේ පුත් යොනාතාන් අතර ස්වාමින්වහන්සේ ඉදිරියේ වූ දිවුරුම නිසා ය. 8එනමුත් රජු, අයාගේ දියණිය වූ රිස්පා සාවුල්ට දාව බිහි කළ අර්මොනි හා මෙෆීබොෂෙත් යන ඇගේ පුතුන් දෙදෙනා ද මෙහොලාතීය බර්සිල්ලයිගේ පුත් අද්රියෙල්ට දාව සාවුල්ගේ දියණිය වූ මේරබ්#21:8 මේරබ් සමහර හෙබ්‍රෙව් සහ ග්‍රීක් පිටපත් සහ සිරියැක් අනුව ය. 1 සාමු 18;19බලන්න බොහෝ හෙබ්‍රෙව් සහ ග්‍රීක් පිටපත්වල මීකල් ලෙස ඇත. බිහි කළ ඇගේ පුතුන් පස්දෙනා ද අල්ලාගෙන, 9ගිබෙයොන්වරුන්ට ඔවුන් බාර දුන්නේ ය. ඔවුහු ස්වාමින්වහන්සේ ඉදිරියේ කන්දෙහි ඔවුන් ප්‍රසිද්ධියේ එල්ලා තැබූහ. ඔවුන් හත්දෙනා එකවර නැසී ගියහ. ඔවුන් මරණයට පත් කරන ලද්දේ අස්වනු සමයේ මුල් දවස්වල ය. යව අස්වැන්න පටන් ගන්නවාත් සමඟ ය.
10අයාගේ දියණිය වූ රිස්පා ගෝණියක් ගෙන, පර්වතය පිට අතුරා, හිඳ, අස්වනු සමය පටන් ගැන්මේ සිට අහසින් වැස්ස ඔවුන් පිට වැගිරෙන තෙක් දහවලේ අහස් පක්ෂීන්ටවත්, රාත්‍රියේ වන සතුන්ටවත් ඒ මළමිනීවලට හානි කරන්නට ඉඩ නුදුන්නා ය. 11අයාගේ දියණිය ද සාවුල්ගේ අතිරේක බිරිඳ ද වූ රිස්පා කළ දේ දාවිත්ට දන්වනු ලැබිණ. 12දාවිත් පිටත් ව ගොස්, සාවුල්ගේ හා ඔහුගේ පුත් යොනාතාන්ගේ ඇටකටු යාබේෂ්-ගිලියාද් වාසීන් වෙතින් ලබා ගත්තේ ය. මන්ද පිලිස්තිවරුන් විසින් ගිල්බෝවහි දී සාවුල් මැරූ දවසේ, ඔවුන් එල්ලා දමා තිබූ බෙත්-ෂෙයාන් පොදු පිටියේ සිට යාබේෂ්-ගිලියාද් වාසීන් රහසිගත ව ඔවුන් ගෙනැවිත් තිබිණි. 13දාවිත්, සාවුල්ගේ හා ඔහුගේ පුත් යොනාතාන්ගේ ඇටකටු එහි සිට ගෙන ආවේ ය. මෙහිදී එල්ලනු ලැබූවන්ගේ ඇටකටු ද එකතු කරන ලද්දේ ය.
14ඔවුහු, සාවුල්ගේ ද ඔහුගේ පුත් යොනාතාන්ගේ ද ඇටකටු සමඟ ඒවා බෙන්යමින් පළාතේ සේලාහි දී සාවුල්ගේ පියා වූ කීෂ්ගේ සොහොනෙහි භූමදාන කළහ. රජු අණ කළ හැම දෙයක් ම ඔවුහු කළහ. එයින් පසු දේශය උදෙසා වූ යාච්ඤාවලට දෙවියන්වහන්සේ පිළිතුරු දුන් සේක.
පිලිස්තිවරුන්ට එරෙහි යුද්ධයක්
15තවත් වරක් පිලිස්තිවරුන් හා ඉශ්‍රායෙල් අතරේ යුද්ධයක් විය. දාවිත් තමාගේ සේවකයින් සමඟ ගොස්, පිලිස්තිවරුන්ට එරෙහිව සටන් වැදුණේ ය. මෙසේ ඔහු ඉතා වෙහෙසට පත් විය. 16අලුත් අසිපතෙකින් සන්නද්ධ ව සිටි රෙෆායිම් යෝධ පරපුරේ කෙනකු වූ ඉෂ්බි-බෙනොබ්, දාවිත් මරන්නෙමැයි පාරම්බෑවේ ය. ඔහුගේ හෙල්ලය ලෝකඩ ෂෙකෙල් තුන්සියයක්#21:16 කිලෝග්‍රෑම් 3.5 බර එකක් විය. 17එහෙත් සෙරූයාගේ පුත් අබිෂයි දාවිත්ගේ ආධාරයට අවුත්, පිලිස්තියා ගසා හෙළා, මරා දැමී ය. ඉන්පසු දාවිත්ගේ මිනිස්සු කතා කරමින්, “ඉශ්‍රායෙල් පහන වන ඔබ, නිවී නො යන පිණිස මින් මතු කිසි දිනක අප සමඟ ඔබ යුද්ධයට පිටත් ව නො යා යුතු යැ” යි ඔහුට දිවුරා පැවසූහ.
18කලකට පසු නැවත වරක් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් ගෝබ්හි දී පැන නැගිණි. එවර හුෂාතීය සිබ්බෙකයි රාෆා පරපුරේ පුරුකක් වූ සෆ් මරා දැමී ය.
19ගෝබ්හි දී පිලිස්තිවරුන් සමඟ තවත් යුද්ධයක් විය. එහිදී බෙත්ලෙහෙම්හි යාරේ-ඔරෙගීම්ගේ පුත් එල්හානාන්, රෙදි වියන්නාගේ රිට හා සමාන මිටක් සහිත හෙල්ලයක් තිබූ ගිත්තීහි#21:19 ගිත්තීහි එනම් ගාත්හි ගොලියත්ගේ සහෝදරයා මරා දැමී ය.
20ගාත්හි තවත් යුද්ධයක් විය. එක් අතක අතැඟිලි හය බැගින් හා එක් පයක පයැඟිලි හය බැගින් ඇඟිලි විසිහතරකින් යුත් මිනිසෙක් එහි සිටියේ ය. ඔහු ද රාෆාගෙන් පැවත ආයේ ය. 21ඔහු ඉශ්‍රායෙල්ට අවඥා කරද්දී දාවිත්ගේ සහෝදර ෂිමෙයාගේ පුත් යොනාතාන් ඔහු මරා දැමී ය.
22ගාත්හි රාෆාගේ පරපුරින් පැවත ආ ඔවුහු හතරදෙනා දාවිත්ගේ ද ඔහුගේ මිනිසුන්ගේ ද අතින් මැරුම් කෑහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for 2 සාමුවෙල් 21