2 සාමුවෙල් 12:5-13
2 සාමුවෙල් 12:5-13 SCV
එවිට ඒ මිනිසාට එරෙහිව දැඩි සේ කෝපයෙන් ඇවිළුණු දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම ඒ දේ කළ මිනිසා සුදුසු මරණයටයි. ඔහු ඒ දේ කළ නිසාත්, අනුකම්පා නො කළ නිසාත් බැටළු පැටවිය වෙනුවට ඔහු සතර ගුණයක් ගෙවිය යුතු යැ” යි කීවේ ය. එවිට නාතාන්, දාවිත්ට කතා කොට, “ඔබයි ඒ මිනිසා! ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්‍රායෙල් රජකමට මම ඔබ ආලේප කළෙමි. සාවුල් අතින් මම ඔබ ගලවා ගතිමි. ඔබේ හාම්පුතාගේ ගෘහ වාසීන් ඔබට මම දුනිමි. ඔබේ හාම්පුතාගේ බිරින්දෑවරුන් මම නුඹේ තුරුලට දුනිමි. ඉශ්‍රායෙල් හා යූදා වංශය මම නුඹට දුනිමි. ඒ දෑ සියල්ල නුඹට නො සෑහේ නම්, මම නුඹට තව තවත් එකතු කරන්නෙමි. උන්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කිරීමට ස්වාමින්වහන්සේගේ වචනයට නුඹ නිගරු කළේ ඇයි? නුඹ හිත්තීය ඌරියා කඩුවෙන් ගසා හෙළා, ඔහුගේ බිරිඳ, නුඹේ බිරිඳ කර ගෙන ඇත. නුඹ අම්මොන්වරුන්ගේ කඩුපතින් ඔහු මරා දැමී ය. එබැවින් කඩුපත කිසි දින ඔබේ වංශය හැර යන්නේ නැත. මන්ද නුඹ මට නිගරු කරමින්, හිත්තීය ඌරියාගේ බිරිඳ නුඹේ බිරිඳ කර ගත් බැවිනි.’ “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මම නුඹේ ම ගෘහ වාසීන් අතරින් නුඹ පිටට විපත්තිය ගෙනෙන්නෙමි. නුඹේ ඇස් පනා පිටදී නුඹේ භාර්යාවන් ගෙන, නුඹේ සමීපතමයකුට දෙන්නෙමි. නුඹේ භාර්යාවන් සමඟ ඔහු මේ හිරු ඉදිරිපිට ම රමණය කරනු ඇත. නුඹ හොර රහසේ එය කළ නමුදු, මම හිරු ඉදිරිපිට ම ඉශ්‍රායෙල් සියල්ලන් ඉදිරියේ ඒ දේ කරන්නෙමි’ යි” පැවසී ය. එවිට දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේට එරෙහිව මම පව් කළෙමි” යි කීවේ ය. නාතාන් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබේ පාපය ඉවත දැමූ සේක. ඔබට මැරෙන්නට සිදු නො වේ.





