YouVersion Logo
Search Icon

2 රාජාවලිය 6

6
පොරොවක් පා වෙයි
1දිවැසිවර කණ්ඩායම එලීෂා අමතමින්, “බලන්න, අප ඔබ සමඟ එක්රැස්වෙන මේ ස්ථානය අපට ඉඩ මදියි. 2යොර්දානයට ගොස්, අප එකිනෙකා ලී කඳක් බැගින් ගෙනැවිත්, අපට වාසය කරන්නට ස්ථානයක් ඉදි කරමු” යි පැවසූහ.
“යන්නැ” යි ඔහු පැවසී ය.
3එවිට ඔවුන්ගෙන් කෙනෙක්, “ඔබේ සේවකයින් සමඟ යන්නට සතුටු වුව මැනව” යි පැවසී ය.
“මා එනවා” යි පිළිතුරු දුන් එලීෂා 4ඔවුන් සමඟ ගියේ ය.
ඔවුහු යොර්දාන් වෙත ගොස්, ගස් කපන්නට වන්හ. 5ඔවුන්ගෙන් කෙනකු ගසක් කපන කල, යකඩ පොරෝ තලය වතුරට වැටිණි. “අනේ මා ස්වාමිනි, එය ඉල්ලා ගත් එකකි!” යි ඔහු මොර ගැසී ය.
6“කෝ කොතැනට ද ඒක වැටුණේ?” යි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඇසී ය. ඔහු ඒ තැන ඔහුට පෙන් වූ කල, ඔහු ලීයක් කපා එතැනට හෙළී ය. එවිට යකඩය පා වන්නට විය. 7“ඒක අරගන්නැ” යි ඔහු කී ය. එවිට ඒ මිනිසා තම අත දිගු කොට, එය ගත්තේ ය.
එලීෂා අරාම්වරුන් අන්ධ කොට අසුකර ගැනීම
8මෙකල අරාම්හි රජු ඉශ්‍රායෙල්වරුන් සමඟ යුද්ධ කළේ ය. ඔහු තම නිලධාරීන් සමඟ සාකච්ඡා කර, “මම අහවල්, අහවල් තැන්වල මගේ කඳවුර පිහිටු වන්නෙමි” යි පැවසී ය.
9දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල් රජු වෙත පණිවුඩය යවමින්, “අසවල් තැන පසු කර නො යන්නට වග බලා ගන්න. මන්ද අරාම්වරු ඒ ස්ථානයට බැස එන්නෝ යැ” යි දැන්වී ය. 10එබැවින් ඉශ්‍රායෙල් රජු, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා විසින් අනතුරු අඟවන ලද ස්ථානය පරීක්ෂා කරවී ය. එලීෂා කීප විටක් රජුට අනතුරු ඇඟවූයෙන්, ඔහු ඒ ඒ තැන් මග හැර සිටියේ ය.
11මෙයින් අරාම්හි රජු කෝපයට පත් විය. ඔහු තම නිලධාරීන් කැඳවා, “අප අතරෙන් ඉශ්‍රායෙල් රජුට පක්ෂපාතී ව සිටින්නේ කවුරු ද කියා නුඹලා මට කියන්නේ නැද්දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය.
12ඔහුගේ නිලධාරීන්ගෙන් කෙනෙක් කතා කරමින්, “එහෙම නො වෙයි මගේ ස්වාමි රජතුමනි, ඔබේ යහන් ගැබේදී ඔබ පවසන හැම වචනයක් ම ඉශ්‍රායෙල් දිවැසිවර එලීෂා ඉශ්‍රායෙල් රජුට කියන්නේ යැ” යි පැවසී ය.
13රජු කතා කොට, “යන්න, ඔහු කොතැනක සිටිනවාදැයි සොයා දැනගන්න. එවිට මිනිසුන් යවා මට ඔහු අල්ලා ගත හැකි යැ” යි නියෝග කළේ ය. “එන්න, ඔහු දොතාන්හි සිටිති” යි රජුට දන්වන ලදී. 14එවිට ඔහු අශ්වයින් ද රථ ද විශාල සේනාංකයක් ද එහි යැවී ය. ඔවුහු රාත්‍රියේ පිටත් ව ගොස්, පුරවරය වටලා ගත්හ.
15දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා පසු දා අලුයම අවදි වී, පිටතට ගිය කල, අශ්වයින්ගෙන් ද රථවලින් ද සමන්විත හමුදාවක් පුරවරය වටලා සිටියේ ය. “අහෝ මගේ ස්වාමිනි මොනවද අප කරන්නේ?” යි සේවකයා ඇසී ය.
16“භය වන්න එපා” යි කී දිවැසිවරයා, “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝ යැ” යි කීවේ ය.
17එලීෂා යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් විවර කළ මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ සේවකයාගේ ඇස් විවර කළ සේක. ඔහු බැලූ කල මෙන්න! එලීෂා වටකර අශ්වයින්ගෙන් ද ගිනි රථවලින් ද කඳු පිරී තිබෙනු දිටී ය.
18අරාම්වරු තමා දෙසට එන විට එලීෂා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “මේ ජනයාට අන්ධභාවයෙන් පහර දෙන්නැ” යි පැවසී ය. එබැවින් එලීෂා ඉල්ලූ පරිදි උන්වහන්සේ ඔවුන් අන්ධ කළ සේක.
19එලීෂා ඔවුන් අමතමින්, “මේක නො වෙයි පාර. පුරවරයත් මේක නො වෙයි. එන්න මා පස්සෙන්; ඔබ සොයන මනුෂ්‍යයා වෙත මම ඔබ ගෙන යන්නම්” යි පැවසී ය. ඔහු ඔවුන් සමාරිය වෙත ගෙන ගියේ ය.
20ඔවුන් සමාරිය පුරවරය වෙත ඇතුල් වූ කල එලීෂා, “ස්වාමින්වහන්ස, දකින පිණිස දැන් මොවුන්ගේ ඇස් ඇරිය මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ ඔවුන්ගේ ඇස් විවර කළ සේක. ඔවුහු බැලූ කල, තමන් සමාරිය මැද සිටින වග දුටුවහ.
21ඉශ්‍රායෙල් රජු ඔවුන් දුටු විට, “මා ඔවුන් මරන්න ද? මගේ පියාණෙනි, මා ඔවුන් මරන්න දැ?” යි එලීෂාගෙන් ඇසී ය.
22“ඔවුන් මරන්නට එපා; ඔබේ කඩුවෙන් හෝ දුන්නෙන් අල්ලා ගත් අය ඔබ මරනවා ද? ඔවුන් කා බී ඔවුන්ගේ ස්වාමියා වෙත ආපසු යන පිණිස ඔවුන් ඉදිරියේ කෑම ද වතුර ද තබන්නැ” යි පැවසී ය. 23එබැවින් ඔහු ඔවුන් උදෙසා මහා භෝජන සංග්‍රහයක් සූදානම් කළේ ය. ඔවුන් කා බී නිම වූ පසු ඔහු ඔවුන් පිටත් කොට යැවී ය. ඔවුහු තම ස්වාමියා වෙත ආපසු ගියහ. එබැවින් අරාම් භට කණ්ඩායම් ඉශ්‍රායෙල් පළාත ආක්‍රමණ කිරීම නැවතිණ.
සමාරිය වටලෑම
24කලකට පසු, අරාම්හි රජු වූ බෙන්-හදද් තම මුළු හමුදාව කැඳවා, ගමන් කොට, සමාරිය වටලා ගත්තේ ය. 25පුරවරයේ දැඩි සාගතයක් විය; ඔවුන් කොපමණ කලක් එසේ වටලාගෙන සිටියේ ද යත් බූරු හිසක් රිදී ෂෙකෙල් අසූවකටත්#6:25 ග්‍රෑම් 920ක් පමණ., පරෙවි අශූචි කැබ් කාලක් රිදී ෂෙකෙල් පහකටත්#6:25 ග්‍රෑම් 58ක් පමණ. අලෙවි විය.
26ඉශ්‍රායෙල් රජු පවුර පිට ගමන් කරමින් සිටින විට ස්ත්‍රියක් මොර ගසමින්, “මගේ ස්වාමි රජතුමනි, පිහිටවන්නැ” යි කෑ ගැසුවා ය.
27රජු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබට පිහිට වන්නේ නැති නම්, මම කොහොම පිහිට වන්න ද? කමතෙන් ද? මිදි යන්ත්‍රයෙන් දැ?” යි ඇසූ ඔහු ඊළඟට, 28“මොකක් ද ප්‍රශ්නය යැ” යි ඇසී ය.
ඈ පිළිතුරු දෙමින්, “මේ ස්ත්‍රිය මා අමතා, ‘අද අපට කෑමට ඔබේ පුතා දෙන්න; හෙට මගේ පුතා කමු’ යි කීවා. 29ඒ නිසා අපි මගේ පුතා උයාගෙන කෑවා. ඊළඟ දවසේ මම, ‘කෑමට අපට ඔබේ පුතා දෙන්නැ’ යි ඇයට කීවා. ඒත් ඇය ඇයගේ පුතා සඟවාගෙනැ” යි පැවසුවා ය.
30එම ස්ත්‍රියගේ ඒ වචන අසා, තම හැඳිවත් ඉරා ගත් රජු, පවුර දිගේ ගමන් කරන විට ජනයා ඇස් ඔසවා බැලූහ. ඔහු යටින් ගෝණි රෙදි ඇඟ ලා සිටිනු ඔවුහු දුටුවහ. 31“අද දවසේ ෂාෆාට්ගේ පුත් එලීෂාගේ හිස ඔහු උර පිට ඉතිරි කළොත් දෙවියන්වහන්සේ මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා!” යි ඔහු පැවසී ය.
32ඒ අතර එලීෂා තම නිවසේ වාඩි වී සිටියේ ය. ඔහු සමඟ වැඩිහිටියෝ වාඩි වී සිටියහ. රජු තමාට පෙරටුව පණිවුඩකරුවකු යැවී ය. ඔහු එන්නට පෙර එලීෂා වැඩිහිටියන් අමතා, “මේ මිනී මරුවා මගේ හිස ගසන්නට කෙනකු එවා ඇති වග නුඹලාට පෙනෙන්නේ නැද්ද? ඔන්න, පණිවුඩකරු පැමිණි විට ඔහුට එන්නට නො දී දොර වසා, එය තද කර ගෙන සිටින්න. ඔහුට පිටුපසින් ඔබට ඇසෙන්නේ ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය නො වේ දැ?” යි පැවසී ය. 33ඔහු ඔවුන්ට කතා කරද්දී ම පණිවුඩකරු ඔහු වෙත පැමිණියේ ය.
එවිට රජු කතා කොට, “මේ විපත ස්වාමින්වහන්සේ වෙතිනි. තවත් ස්වාමින්වහන්සේ ගැන මා බලාපොරොත්තු විය යුත්තේ ඇයි?” පැවසී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in