2 රාජාවලිය 16
16
යූදාහි ආහාස් රජු
1රෙමලියාගේ පුත් පෙකාගේ දාහත්වන වසරේ, යූදා රජු වූ යෝතාම්ගේ පුත් ආහාස් රජකම් කරන්නට පටන් ගත්තේ ය. 2ආහාස් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමේ රජකම් කළේ ය. ඔහු තම පියා වූ දාවිත් මෙන් නො ව, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ කළේ නැත. 3ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ අඩිපාරේ යමින්, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල්කම්වලට අනුව, තම පුත්‍රයා පවා ගින්නෙන් පූජා කළේ ය. 4ඔහු උස් තැන් පුදසුන් පිටත්, කඳු මුදුන් පිට සහ අතු විහිදුණු සියලු ගස් යටත් යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දැවී ය.
5ඉන්පසු අරාම්හි රජු වූ රෙසීන් හා ඉශ්‍රායෙල් රජු වූ රෙමලියාගේ පුත් පෙකා යෙරුසලමට එරෙහි සටනට අවුත්, ආහාස් වැටලූ නමුත් ඔහු යටත් කර ගන්නට ඔවුන්ට නො හැකි විය. 6එකල අරාම්හි රජු වූ රෙසීන්, යූදාවරුන් පන්නා දැමීමෙන් ඒලත් නගරය අරාම්වරුන්ට ආපසු ලබා ගත්තේ ය. එකල ඒලත් වෙත ගිය ඒදොම්වරු අද දක්වා එහි වාසය කරති.
7එකල ආහාස්, අසිරියාවේ රජු වූ තිග්ලත්-පිලෙසෙර් වෙත පණිවුඩකරුවන් යවමින්, “මම ඔබගේ සේවකයායි. ඔබගේ පුත්‍රයායි. එන්න, මට පහර දෙන අරාම්හි රජු හා ඉශ්‍රායෙල් රජු අතින් මා ගලවා ගන්නැ” යි කියා යැවී ය. 8තවද ආහාස් ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් හා රජ මැදුරේ භාණ්ඩාගාරවලින් හමු වූ රිදී හා රත්රන් රැගෙන ඒවා අසිරියාවේ රජුට තෑගි වශයෙන් යැවී ය. 9එබැවින් අසිරියාවේ රජු ඔහුට සවන් දුන්නේ ය. අසිරියාවේ රජ දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලා ගත්තේ ය. ඔහු එහි වැසියන් කීර් දේශයට නෙරපා, රෙසීන් මරා දැමී ය.
10ඉන්පසු ආහාස් රජු අසිරියාවේ රජු වූ තිග්ලත්-පිලෙසෙර් හමු වන්නට දමස්කයට ගියේ ය. ඔහු දමස්කයේ පූජාසනයක් දැක, එම පූජාසනයේ ආකෘතියක් සමඟ එය තැනීමට සියලු විස්තර ඇතුළත් සැලසුම් පූජක ඌරියා වෙත එවී ය. 11එබැවින් පූජක ඌරියා, ආහාස් රජු දමස්කයේ සිට එවා තිබූ මුළු සැලැස්මට අනුව ආහාස් රජු ආපසු එන්නට පෙර පූජාසනයක් තනවා, එය නිම කළේ ය. 12රජු දමස්කයේ සිට ආපසු පැමිණි කල පූජාසනය දැක, ඊට ළඟා වී, ඒ පිට යාග පූජා ඔප්පු කළේ ය. 13ඔහු තම දවන යාග පූජා හා ධාන්‍ය පූජා ඔප්පු කර, තම පාන පූජා වගුරුවා, තම ශාන්ති පූජාවල ලේ පූජාසනය පිට ඉසී ය. 14ඉන්පසු ආහාස් රජු ස්වාමින්වහන්සේ ඉදිරියේ තිබූ ලෝකඩ පූජාසනය ගෘහය ඉදිරිපිටින්, එනම් අලුත් පූජාසනය හා ස්වාමින්වහන්සේගේ ගෘහය අතරින්, ඉවත් කොට, එය අලුත් පූජාසනයට උතුරින් තැබී ය.
15ඉන්පසු ආහාස් රජු පූජක ඌරියාට නියෝග කරමින්, “අලුත් මහ පූජාසනය මත උදෑසන දවන යාග පූජාව හා සවස ධාන්‍ය පූජාව ද රජුගේ දවන යාග පූජාව හා ඔහුගේ ධාන්‍ය පූජාව ද මුළු දේශ-වාසීන්ගේ දවන යාග පූජාව හා ඔවුන්ගේ ධාන්‍ය පූජාව ද ඔවුන්ගේ පාන පූජාව ද ඔප්පු කරන්න. දවන යාග පූජාවල හා යාග පූජාවල ලේ සියල්ල පූජාසනය පිට ඉසින්න. එහෙත් ලෝකඩ පූජාසනය, පේන බැලීම සඳහා මා උදෙසා යැ” යි පැවසී ය. 16ඌරියා පූජකයා ඒ සියල්ල ආහාස් රජු අණ කළ පරිදි කළේ ය.
17ආහාස් රජු රඳවනවලින් පැති පනේල කපා, ඒවා මත වූ භාජන ඉවත් කළේ ය. ඔහු ලෝකඩ ගවයින් පිට වූ මුහුදු තටාකය පහතට ගෙන, එය ගල් ඇල්ලූ බිමක පිහිටුවී ය. 18අසිරියාවේ රජු නිසා ඔහු ගෘහයේ සාදා තිබූ සබත් වාහල්කඩ අහක් කර, ස්වාමින්වහන්සේගේ ගෘහයට පිටතින් තිබූ රාජකීය පිවිසුම් දොරටුව ඉවත් කළේ ය.
19ආහාස් රජු සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ ද යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 20ආහාස් තම පියවරුන් සමඟ සැතපුණෙන්, තම පියවරුන් සමඟ දාවිත් පුරයේ භූමදාන කෙරිණ. ඔහු වෙනුවට ඔහුගේ පුත් හෙසකියා රජකමට පත් විය.
Currently Selected:
2 රාජාවලිය 16: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.