2 රාජාවලිය 12
12
දේව මාලිගය පිළිසකර කිරීම
1යේහූගේ හත් වන අවුරුද්දේ රජකමට පත් වූ යෙහෝවාෂ්#12:1 යෙහෝවාෂ් එනම් යෝවාෂ් අවුරුදු හතළිහක් යෙරුසලමේ රජකම් කළේ ය. බෙයර්ෂෙබා කාන්තාවක වූ ඔහුගේ මවගේ නම සිබියා ය; 2යෙහෝයාදා පූජකයා තමාට උපදෙස් දුන් කාල වකවානුව මුළුල්ලේ යෙහෝවාෂ්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ කළේ ය. 3එහෙත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි; ජනයා දිගට ම එහි යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දවාලූහ.
4පූජකයින් ඇමතූ යෙහෝවාෂ්, “ස්වාමින්වහන්සේගේ ගෘහයට ශුද්ධ පූජා වශයෙන් ගෙනෙන සියලු මුදල්, එනම් එකිනෙකාගේ තක්සේරු මිල ද එකිනෙකා පෞද්ගලික ව බාරයක් වූ මුදල් ද ස්වේච්ඡාවෙන් ස්වාමින්වහන්සේගේ ගෘහයට ගෙනා මුදල් ද එකතු කරන්න. 5හැම පූජකයකු ම එම මුදල් එක් එක් භාණ්ඩාගාරිකගෙන් ලබාගෙන, ගෘහයේ හමුවන පලුදු පිළිසකර කරන්නට ඒවා යොදා ගනිත්වා” යි පැවසී ය.
6එහෙත් යෙහෝවාෂ් රජුගේ විසිතුන් වන අවුරුද්ද දක්වා ම පූජකයෝ ගෘහය පිළිසකර කර තිබුණේ නැත. 7එබැවින් යෙහෝවාෂ් රජු, පූජක යෙහෝයාදා හා සෙසු පූජකයින් කැඳවා, “ඔබ ගෘහයේ පලුදු පිළිසකර කර නැත්තේ මන්ද? ඔබේ භාණ්ඩාගාරිකයින්ගෙන් තවදුරටත් මුදල් නො ගෙන, ඒවා ගෘහය පිළිසකර කරන්නන්ට බාර දෙන්නැ” යි පැවසී ය. 8තවත් ජනයාගෙන් මුදල් එකතු නො කරන්නටත්, තමන් ම ගෘහය පිළිසකර කිරීම් නො කරන්නටත් පූජකයෝ එකඟ වූහ.
9පූජක යෙහෝයාදා පෙට්ටියක් ගෙන, එහි පියනේ සිදුරක් සාදා, එය පූජාසනය පසෙක, ස්වාමින්වහන්සේගේ ගෘහයට පිවිසෙන්නන්ගේ දකුණු පැත්තෙන් තැබී ය; ස්වාමින්වහන්සේගේ ගෘහයට ගෙනෙන සියලු මුදල්, පිවිසුම් දොරටුව රැකවල් කළ ආරක්ෂකයින් වන පූජකයෝ එම පෙට්ටියට දැමූහ. 10පෙට්ටිය තුළ මුදල් විශාල ප්‍රමාණයක් එකතු වී ඇති වග ඔවුන්ට පෙනුණු හැම විටෙක රජුගේ ලේකම්වරයා ද උත්තම පූජකයා ද අවුත්, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඔප්පු කොට තිබූ මුදල් ගණන් කොට, ඒවා මලුවලට දැමූහ. 11ඔවුහු එම මුදල් ගණන් කර, පසුව ඒවා ස්වාමින්වහන්සේගේ ගෘහයේ වැඩ පරීක්ෂා කරන්නට පත් කෙරුණු මිනිසුන් අතට දුන්හ. ඔවුහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ වැඩ කළ වඩුවන්ට, ඉදි කරන්නන්ට, 12පෙදරේරුවන්ට හා ගල් කඩන්නන්ට ඒවායින් ගෙවීම් කළහ. ඔවුහු ස්වාමින්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන්නට කැපූ ගල් හා දැව මිල දී ගැනීමටත්, ගෘහය පිළිසකර කිරීමේ සෙසු සියලු වියදම් සඳහාත් ඒ මුදල් දුන්හ.
13එහෙත් ස්වාමින්වහන්සේගේ ගෘහයට ගෙනා මුදලින් ස්වාමින්වහන්සේගේ ගෘහය සඳහා රිදී බේසන්, පහන් කතුරු, පැන් තාලි හා හොරණෑ යනාදිය හෝ රන් රිදී භාජනය හෝ සෑදීමට පාවිච්චි කළේ නැත. 14එම මුදල් වැඩ කරන්නන්ට බාර දෙන ලදී. ඔවුහු ඒ මුදලින් ස්වාමින්වහන්සේගේ ගෘහය පිළිසකර කළහ. 15වැඩ කරන්නන්ට ගෙවන්නට මුදල් බාර දෙන ලද අයගෙන් ගණන් තැබීමක් නියම නො කෙරිණි. මන්ද ඔවුහු ඒ පිළිබඳව මුළුමනින් අවංක ව කටයුතු කළහ. 16තවද අපරාධ පූජා හා පාප පූජා#12:16 පාප පූජා එනම් පාප පවිත්‍ර කිරීමේ පූජා මුදල් ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත ගෙනාවේ නැත; ඒවා අයිති පූජකයන්ට ය.
17මේ කාලයේ අරාම්හි රජු වූ හසායෙල්, ගාත්ට පහර දී, එය අත්පත් කර ගත්තේ ය. ඉන්පසු ඔහු යෙරුසලමට පහර දෙන්නට හැරුණේ ය. 18එහෙත් යූදාහි රජු වූ යෙහෝවාෂ් තම පියවරුන් වන යෙහෝෂාෆාට්, යෙහෝරාම් හා අහසියා යන යූදාහි රජවරුන් විසින් කැප කළ ශුද්ධ භාණ්ඩ සියල්ල ද තමා කැප කර තිබූ ත්‍යාග ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ හා රජ මැදුරේ භාණ්ඩාගාරවලදී සම්බ වූ සියලු රන් ද රැගෙන අරාම්හි රජු වූ හසායෙල් වෙත යැවී ය. එවිට ඔහු යෙරුසලමෙන් ඉවත් ව ගියේ ය.
19යෝවාෂ් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 20ඔහුගේ නිලධාරීහු ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කර, සිල්ලාට යන මාවතේ බෙත්-මිල්ලෝහි දී යෝවාෂ් මරා දැමූහ. 21ඔහු මරා දැමූ නිලධාරීන් වූයේ ෂිමෙයාත්ගේ පුත් යෝසාබාද් හා ෂොමේර්ගේ පුත් යෙහෝසාබාද් ය. ඔහු මැරුණේ ය. ඔහු දාවිත් පුරයේ තම පියවරුන් සමඟ තැන්පත් කෙරිණි. ඔහුගේ පුත් අමසියා ඔහු වෙනුවට රජකමට පත් විය.
Currently Selected:
2 රාජාවලිය 12: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.