YouVersion Logo
Search Icon

2 ලේකම් 6

6
ජනතාවට ආශිර්වාද කිරීම
1එවිට සාලමොන් කතා කරමින්, “තමන්වහන්සේ ඝන අන්ධකාරයේ වසන වග ස්වාමින්වහන්සේ පවසා ඇත. 2එහෙත් මම ඔබවහන්සේට උත්කෘෂ්ට ගෘහයක්, සදහට ම ඔබට වාසය කරන්නට ස්ථානයක් ඉදි කළෙමි” යි පැවසී ය.
3මුළු ඉශ්‍රායෙල් සමාජය නැගිට සිටියදී රජු ඔවුන් දෙසට හැරී, ආශිර්වාද කළේ ය. 4ඉන්පසු ඔහු මෙසේ පැවසී ය:
“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද උන්වහන්සේ මගේ පියා වූ දාවිත්ට තම මුඛයෙන් පොරොන්දු වූ දේ තම හස්තයෙන් ඉටු කළ සේක. මන්ද, උන්වහන්සේ කියා ඇත්තේ, 5‘මගේ ජනයා මා විසින් ඊජිප්තුවෙන් පිටතට ගෙනා දවසේ පටන් මගේ නාමය තබන පිණිස ගෘහයක් ඉදි කරන්නට ඉශ්‍රායෙල් ගෝත්‍රවංශයක කිසි නගරයක් මා තෝරා ගත්තේ නැත. මගේ ජනයා උදෙසා පාලකයකු ලෙස කිසි මනුෂ්‍යයකු ද තෝරා ගත්තේ නැත. 6එහෙත් දැන් මගේ නාමය තබන පිණිස යෙරුසලම තෝරා ගතිමි. ඉශ්‍රායෙල් මගේ ජනයා පාලනය කරන්නට දාවිත් තෝරා ගතිමි’ යනුවෙනි.
7“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් තැනීමේ අදහසක් මා පිය දාවිත්ගේ හදවතේ තිබිණි. 8එහෙත් ස්වාමින්වහන්සේ මා පිය දාවිත් අමතමින්, ‘මගේ නාමය උදෙසා ගෘහයක් තනන්නට ඔබේ හදවතේ ඇති අදහස අගෙයි. 9කෙසේ වෙතත් ඒ ගෘහය ඉදි කරන්නේ ඔබ නො වෙයි, ඔබෙන් ම උපදින ඔබේ පුත්‍රයායි. මගේ නාමය උදෙසා ගෘහයක් ඉදි කරන්නේ ඔහු යැ’ යි පැවසූ සේක.
10ස්වාමින්වහන්සේ ස්වකීය පොරොන්දුව ඉටු කළ සේක. ස්වාමින්වහන්සේ පොරොන්දු වූ පරිදි මම මගේ පියා වූ දාවිත් වෙනුවට රජ වී, ඉශ්‍රායෙල්හි සිහසුනේ හිඳ සිටිමි. එසේ ම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහය ද ඉදි කළෙමි. 11ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා සමඟ කළ උන්වහන්සේගේ ගිවිසුම තබා තිබූ කරඬුව මම එහි ස්ථානගත කළෙමි.”
කැප කිරීමේ යැදුම
12ඉන්පසු සාලමොන් ස්වාමින්වහන්සේගේ පූජාසනය අබියස, මුළු ඉශ්‍රායෙල් ජන සමූහය ඉදිරිපිට සිටගෙන, තම දෑත් විදහා ගත්තේ ය. 13සාලමොන් ලෝකඩ වේදිකාවක් තනා තිබිණ. රියන් පහක් දිග, රියන් පහක් පළල, රියන් තුනක්#6:13 මීටර් 4.1ක් පමණ. උස එය ගෘහ මළුව මධ්‍යයේ තබා තිබිණ. ඊට ගොඩ වූ ඔහු මුළු ඉශ්‍රායෙල් ජන සමූහය ඉදිරිපිට තම දණින් හිඳ, තම දෑත් ස්වර්ගය දෙසට විහිදා, 14මෙසේ පැවසී ය:
“අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ වැනි දෙවියන්වහන්සේ කෙනෙක් ස්වර්ගයේවත්, පොළොවේවත් නැත. තම මුළු හදින් ඔබ ඉදිරියේ හැසිරෙන ඔබගේ සේවකයිනට ඔබගේ නොමියෙන ප්‍රේමයේ ගිවිසුම ඔබ පවත්වන සේක. 15ඔබේ සේවක, මා පිය දාවිත්ට ඔබ ප්‍රකාශ කළ දෙය ඔබ ඉටු කළ සේක. ඔබගේ මුඛයෙන් පැවසූ දෑ අද දවසේ ඔබගේ හස්තයෙන් ඉටු කළ සේක.
16“එබැවින් දැන් ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ, ඔබගේ සේවක දාවිත්ට, මගේ පියාට කතා කොට, ‘ඔබ මා ඉදිරියේ හැසුරුණු පරිදි මගේ ව්‍යවස්ථාව පිළිපදිමින්, ඔබේ පුතුන් මා ඉදිරිපිට හැසිරෙමින්, තමන්ගේ මාර්ග ගැන පරෙස්සම් වන්නේ නම්, මා ඉදිරියේ ඉශ්‍රායෙල් සිහසුනේ හිඳ ගැනීමට කෙනකු නැති වන්නේ නැතැ’ යි ඔබ පොරොන්දු වූ දේ ඉටු කළ මැනව. 17අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, දැනුදු ඔබේ සේවක දාවිත්ට ඔබ පැවසූ ඔබගේ වචනය ස්ථිර කළ මැනව.
18“එහෙත් දෙවියන්වහන්සේ සැබවින් ම පොළොවේ මනුෂ්‍යයන් සමඟ වාසය කරන සේක් ද? බලන්න! ස්වර්ගයට, ඉහළ ම ස්වර්ගයට පවා ඔබ දරා සිටින්නට නො හැකි කොට මා ඉදි කළ මේ ගෘහය ඊට වඩා කොපමණ මදි ද? 19එහෙත් ඔබගේ සේවකයාගේ යාච්ඤාවට, ඔහු කරන අයැදුමට සිත යොමු කළ මැනව. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ අබියස ඔබේ සේවකයා මොර ගසමින්, යදිමින් කරන යාච්ඤාව ඇසුව මැනව. 20ඔබගේ නාමය තැබීමට ඔබවහන්සේ පොරොන්දු වූ ස්ථානය වන මේ ගෘහය දෙසට රැයේත්, දවාලේත් ඔබගේ දෙනෙත් විවර ව තිබේවා! ඔබගේ සේවකයා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. 21ඔබගේ සේවකයා ද ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ද මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කරන කල, ඔවුන්ගේ අයැදුම් ඇසුව මැනව. ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව. අසා, කමා වුව මැනව:
22“මිනිසකු තම අසල්වැසියාට වරද කර, දිවුරුමක් ශපථ කරන්නට නියම වූ කල, ඔහු අවුත්, මේ ගෘහයේ ඔබගේ පූජාසනය අබියස එම දිවුරුම ශපථ කරන කල, 23ස්වර්ගයේ සිට අසා, ක්‍රියා කළ මැනව. ඔබගේ සේවකයින් අතර විනිශ්චය කරමින් වරදකරු වරදට පත් කර, ඔහු කළ දේ ඔහුගේ ම හිස පිටට පැමිණෙවුව මැනව. නිවැරදිකරුගේ නිදොස්භාවය ප්‍රකාශයට පත් කොට, ඔහුගේ දමිටුකමට අනුව ඔහුට විපාක දුන මැනව.
24“ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ඔබට එරෙහිව පව් කළ හේතුවෙන්, සතුරන් ඉදිරියේ පරාජයට පත් කරනු ලැබූ කල, ඔවුන් ඔබ වෙත යළි හැරී, ඔබගේ නාමයට පැසසුම් දී, මේ ගෘහයේදී ඔබට යාච්ඤා කරමින්, කන්නලව් කළහොත්, 25ස්වර්ගයේ සිට අසා, ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත ගෙන ආ මැනව.
26“ඔවුන් ඔබට එරෙහිව පව් කළ හේතුවෙන්, අහස පියවී, වැස්ස නැති වූ කල, ඔබ ඔවුන් පීඩාවට පත් කළෙන්, ඔවුන් මේ ස්ථානය දෙසට හැරී, යාච්ඤා කර, ඔබගේ නාමයට පැසසුම් දී, ඔවුන්ගේ පාපයෙන් ඉවත හැරුණහොත්, 27ස්වර්ගයේ සිට අසා, ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ, ඔබගේ සේවකයින්ගේ පාපයට කමා වුව මැනව. ජීවත් වන නිවැරදි මග ඔවුන්ට උගන්වා, ඔබේ ජනයාට ඔබ උරුමයක් කොට දුන් ඔබේ දේශය පිට වර්ෂාව එවුව මැනව.
28“දේශය පිට සාගතය හෝ වසංගතය හෝ කොළ-රෝගය හෝ පුස් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණි කල, නැතහොත් ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන්ගේ යම් පුරවරයක් වටලා ගත් කල, කවර උවදුරක් හෝ රෝගයක් පැමිණි කල, 29යම් මිනිසකු හෝ ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් සැවොම හෝ ඒ එකිනෙකා තමාගේ විපත්තිය, තම සංතාපය වටහා ගෙන තම දෑත් මේ ගෘහය දෙසට විහිදා, යාච්ඤාවක් හෝ කන්නලව්වක් ඔප්පු කළ විටෙක, 30ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, කමා වී, එක් එක් කෙනාගේ සිත දන්නා ඔබ, ඒ සියල්ලන්ගේ මාර්ග අනුව ප්‍රතිවිපාක දුන මැනව; මන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ හදවත දන්නේ ඔබවහන්සේ ය. ඔබ පමණක් ම ය. 31ඒ, අපගේ පියවරුන්ට ඔබ දුන් දේශයේ ඔවුන් වාසය කරන හැම කල්හි ඔවුහු ඔබට භය පක්ෂපාතී ව සිට, ඔබගේ මාර්ගවල හැසිරෙන පිණිස ය.
32“තවද ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්ට අයත් නො වන විදෙස්සකු ඔබගේ ශ්‍රේෂ්ඨ නාමය ද ඔබගේ බලවත් හස්තය ද ඔබගේ දිගු කළ බාහුව ද නිසා දුර රටක සිට එන්නේ නම්, අවුත් මේ ගෘහය දෙසට හැරී, යාච්ඤා කරන්නේ නම්, 33ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, ඔබගේ ම ජනයා වන ඉශ්‍රායෙල් කරන පරිද්දෙන් මිහි පිට සිටින සියලු ජාතීන් ඔබගේ නාමය දැන, ඔබට භය වන පිණිසත්, මා විසින් ඉදි කොට ඇති මේ ගෘහය ඔබගේ නාමය දරන වග ඔවුන් දැනගන්නා පිණිසත් විදෙස්සා ඔබෙන් ඉල්ලන කවරක් වුව ඉටු කර දුන මැනවි.
34“ඔබ විසින් යවනු ලබන කොතැනකට වුවත් ඔබගේ ජනයා තම සතුරනට එරෙහිව යුද වදින්නට යන කල, ඔබ තෝරාගන ඇති මේ පුරවරයත්, ඔබගේ නාමය දරන්නට මා ඉදි කළ මෙම ගෘහයත් දෙසට හැරී, ඔවුන් ඔබට යාච්ඤා කරන කල, 35ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවත්, ඔවුන්ගේ කන්නලව්වත් අසා, ඔවුන්ගේ කාරණය ඉටු කර දුන මැනවි.
36“ඔවුන් ඔබට එරෙහිව පව් කළ විටෙක–පව් නො කරන කෙනකු නැත–ඔබවහන්සේ ඔවුන් සමඟ කෝප වී, දුර ඈත හෝ ළඟ පාත හෝ දේශයකට ඔවුන් වහලුන් සේ ගෙන යනු ලබන ලෙස සතුරා අතට ඔබ ඔවුන් හසුකර දුන් විටෙක, 37ඔවුන් තමන් වහල් ව සිටින දේශයේදී තම හදවතින් හැරී, තමන්ගේ ඒ වහල්කමේ දේශයේදී පසුතැවිලි ව, ඔබවහන්සේට කන්නලව් කර, ‘අපි පව් කළෙමු, අපි වරද කළෙමු, දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු’ යි කියන්නේ නම්, 38ඔවුන්, තමන් ගෙන යනු ලැබූ වහල්කමේ දේශයේදී තමන්ගේ මුළු හදවතින් ද මුළු සිතින් ද ඔබ වෙත හැරී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශය දෙසට ද ඔබ තෝරාගන ඇති පුරවරය දෙසට ද මා ඔබගේ නාමයට ඉදි කළ ගෘහය දෙසට ද හැරී, යාච්ඤා කළොත්, 39ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔවුන්ගේ යච්ඤාවත්, ඔවුන්ගේ කන්නලව්වත් අසා, ඔවුන්ගේ කාරණය ඉටු කර දුන මැනව. ඔබට එරෙහිව පව් කළ ඔබේ ජනයාට කමා වුව මැනව.
40“දැන් අහෝ මගේ දෙවියන්වහන්ස, මේ ස්ථානයේදී ඔප්පු කළ යාච්ඤාවනට ඔබගේ දෙනෙත් විවර ව, ඔබගේ සවන් යොමු ව පවතීවා!
41“දැන් නැගිටිනු මැනවි අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබත්, ඔබගේ පරාක්‍රමයේ කරඬුවත්
ඔබගේ විවේක ස්ථානය වෙත වඩිත්වා!
අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ පූජකයෝ ගැලවීමෙන් හඳවනු ලබත්වා!
ඔබගේ යහපත්කම තුළ ඔබගේ විශ්වාසවන්තයෝ ප්‍රීතිමත් වේවා!
42අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් ඔබගේ මුහුණ ඉවත නො හැරෙවුව මැනව.
ඔබගේ සේවක දාවිත්ට පොරොන්දු වූ නොමියෙන ප්‍රේමය සිහි කළ මැනවි” යි පැවසී ය.

Currently Selected:

2 ලේකම් 6: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in