2 ලේකම් 32
32
සෙනකෙරීබ්ගේ ආක්‍රමණය
1මේ දේවලට හා මෙම විශ්වසනීය ක්‍රියාවනට පසු, අසිරියාවේ රජු වූ සෙනකෙරීබ් පැමිණ, යූදා ආක්‍රමණ කර, බළකොටු පුරවරවලට එරෙහිව කඳවුරු බැන්දේ තමන් වෙතට ඒවා දිනා ගැනීමට හැකියයි සිතමිනි. 2යෙරුසලමට විරුද්ධ ව සටන් වැදීමේ අදහසින් සෙනකෙරීබ් පැමිණ ඇති වග දුටු හෙසකියා, 3පුරයෙන් පිටත ඇති උල්පත්වල ජල සැපයුම අවහිර කිරීමට තම නිලධාරීන් හා තම සෙන්පතීන් සමඟ සැලසුම් කළේ ය. ඔවුහු ඔහුට සහය දුන්හ. 4අති මහත් ජනතාවක් එක් රැස් ව, සියලු උල්පත් හා දේශය මැද ගලා ගිය ඔය අවහිර කළහ. “අසිරියාවේ රජුන් පැමිණ, ඇති තරම් වතුර සොයාගන්නේ කුමට දැ?” යි ඔවුහු කීහ. 5හෙසකියා තිරසර ලෙස ක්‍රියා කරමින්, කැඩී තිබූ මුළු තාප්පය ගොඩ නංවා, ඒ මත කුලුනු එසැවී ය. ඊට පිටතින් ඔහු තවත් තාප්පයක් ඉදිකර, දාවිත් පුරයේ මිල්ලෝ#32:5 මිල්ලෝ එනම් පස් පිර වූ රැඳවුම් පවුරු ශක්තිමත් කරවී ය. තවද ඔහු අවි-ආයුධ සහ පලිහ බහුල ව සෑදෙව්වේ ය.
6ඔහු ජනයා අතරින් සටන්කාමී සෙන්පතීන් පත් කර, පුර දොරටුව අසල පිටියට ඔවුන් රැස් කර, ඔවුන් දිරි ගන්වමින් කතා කළේ ය: 7“ධෛර්යවත් වන්න, ශක්තිමත් වන්න; අසිරියාවේ රජු මෙන් ම ඔහු සමඟ සිටින මුළු සමූහයා ඉදිරියේ භය වෙන්නවත්, කැලඹෙන්නවත් එපා. මොකද ඔහු සමඟ සිටින්නන්ට වඩා ශ්‍රේෂ්ඨයි අප සමඟ සිටින්නා; 8ඔහු සමඟ ඇත්තේ මාංසික බාහුවක්; එහෙත් අපට ආධාර දෙන්නටත්, අපේ සටන, සටන් වදින්නටත් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අප සමඟයි.” යූදා රජු වූ හෙසකියාගේ වචන මගින් ජනයා දිරිගන්වන ලදහ.
9පසුව තම මුළු හමුදාව සමඟ ලාකීෂ් වටලා සිටි අසිරියාවේ රජු වූ සෙනකෙරීබ්, තම සේවකයින් යෙරුසලමට යැවුවේ යූදාහි රජු වූ හෙසකියාටත්, යෙරුසලමෙහි සිටි මුළු යූදා ජනයාටත් මෙසේ පවසමිනි:
10“අසිරියාවේ රජු වූ සෙනකෙරීබ් මෙසේ කියයි: ‘යෙරුසලම වටලා තිබියදී නුඹලා රඳා සිටින්නේ කුමක් මත ද? 11අපගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ අසිරියාවේ රජු අතින් අප ගලවන සේකැ’ යි ඔහු කියන කල, සාගතයෙන් හා පිපාසයෙන් නුඹලා මැරී යන්නට හෙසකියා නුඹලා නොමග යවනවා නො වේ ද? 12‘නුඹලා නමස්කාර කළ යුත්තේ එක් පූජාසනයක් ඉදිරියේයි; නුඹලාගේ පඬුරු ඔප්පු කළ යුත්තේත් ඒ මත යැ’ යි කියමින්, යූදාට හා යෙරුසලමට අණ කර, උන්වහන්සේගේ උස් තැන් පුදසුන් සහ උන්වහන්සේගේ පූජාසන ඉවත් කළේ මෙම හෙසකියා ම නො වේ ද?
13“මාත්, මගේ පියාත් අනිකුත් දේශවල සියලු ජනයින්ට කළ දේ ගැන නුඹලා දන්නේ නැති ද? මගේ අතින් ඒ ඒ රටවල් මුදා ගැනීමට එම රටවල ජාතීන්ගේ දෙවිවරුනට හැකි වුණා ද? 14මගේ පියවරුන් මුළුමනින් විනාශ කළ එම ජාතීන්ගේ දෙවිවරුන් සියල්ලන් අතරින් මගේ අතින් තම ජනයා මුදා ගත හැකි වූයේ කවරකුට ද? එසේ නම් මගේ අතින් නුඹලා මුදා ගැනීමට නුඹේ දෙවියන්වහන්සේට හැකි වන්නේ කෙසේ ද? 15එබැවින් ඔය විදියට ඔබ රවටන්නට හෝ ඔබ නොමග යවන්නට හෙසකියාට ඉඩ නො දෙන්න. ඔහු විශ්වාස නො කරන්න. මන්ද මගේ අතින් හා මගේ පියවරුන් අතින් තම ජනයා ගලවා ගන්නට කිසි ජාතියක හෝ රාජ්‍යයක කිසි දෙවියකුට බැරි ය. එසේ නම් මගේ අතින් නුඹලා ගලවන්නට නුඹලාගේ දෙවියන්වහන්සේට ඇති හැකියාව කෙතරම් අඩු ද!”
16සෙනකෙරීබ්ගේ සේවකයෝ ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේට එරෙහිව හා උන්වහන්සේගේ සේවක හෙසකියාට එරෙහිව තව බොහෝ දෑ කීහ. 17ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නිග්‍රහ එල්ල කරමින් ඔහු ලිපි ද ලියුවේ ය. තවද ඔහු උන්වහන්සේට එරෙහිව කතා කරමින්, “අනිකුත් රටවල ජාතීන්ගේ දෙවිවරුන් මගේ අත්වලින් තම ජනයා මුදා නො ගත්තා සේ ම, හෙසකියාගේ දෙවියන්වහන්සේටත් මගේ අතින් ස්වකීය ජනතාව මුදා ගන්න නො හැකි වනු ඇතැ” යි කීවේ ය. 18ඔවුහු උස් හඬ නගා, හෙබ්‍රෙව් බසින් එසේ කියමින් කෑ ගැසූහ. එසේ කළේ පුරවරය තමන් අල්ලා ගන්නා පිණිස, පවුර මත සිටි යෙරුසලම් ජනයා බිය වද්දන්නට හා තැති ගන්වන්නට ය. 19ඔවුන් යෙරුසලමෙහි දෙවියන්වහන්සේ ගැන කතා කළේ, උන්වහන්සේ ද පොළොවේ ජනයාගේ දෙවිවරුන් මෙන් මිනිස් අත්වලින් කරන ලද වැඩකැයි සලකා ය.
20ඉන්පසු හෙසකියා රජ හා ආමෝස්ගේ පුත්‍ර යෙසායා දිවැසිවරයා මේ නිසා යාච්ඤා කරමින්, ස්වර්ගයට හඬ ගැසූහ. 21එවිට ස්වාමින්වහන්සේ දේව දූතයකු යැව්වෙන්, හෙතෙම අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු ප්‍රබල රණශූරයින්, සෙන්පතීන් හා නිලධාරීන් ගසා හෙළී ය. එබැවින් ඔහු අවමානයෙන් යුතු ව තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ දෙවොලට ගිය කල, ඔහුගේ ම පුත්‍රයෝ කීප දෙනෙක් එහිදී ඔහු කඩුවෙන් ගසා හෙළූහ.
22මෙසේ අසිරියාවේ රජු වූ සෙනකෙරීබ්ගේ අතින් හා ඔවුන්ගේ සියලු සතුරන් අතින් ස්වාමින්වහන්සේ හෙසකියා ද යෙරුසලම් වාසීන් ද ගැලවූ සේක්, හැම අතින් ම ඔවුන්ට සහනය දුන් සේක. 23බොහෝ දෙනා යෙරුසලමෙහි ස්වාමින්වහන්සේ වෙත ත්‍යාග ද යූදා රජු වූ හෙසකියා වෙත වටිනා දෑ ද ගෙන ආහ. මෙසේ ඔහු සියලු ජාතීන් හමුවේ එතැන් පටන් උසස් කරනු ලැබිණ.
හෙසකියාගේ උඩඟුව, සඵලත්වය හා මරණය
24එදවස්හි හෙසකියා රෝගී ව, මරණාසන්න විය. ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ඔහුට ලකුණක් දුන් සේක. 25එහෙත් තමාට සලසන ලද ශුභසිද්ධියට අනුකූලව හෙසකියා ප්‍රතිචාර දැක්වූයේ නැත. මන්ද ඔහුගේ හදවත උඩඟු විය. එබැවින් ඔහු පිටත්, යූදා සහ යෙරුසලම පිටත් දේව උදහස පැමිණියේ ය. 26එවිට හෙසකියා තම හදවතේ වූ උඩඟුව ගැන යටහත් විය. ඔහු හා යෙරුසලම් වාසීන් එසේ කළෙන්, ස්වාමින්වහන්සේගේ උදහස හෙසකියාගේ දවස්හි ඔවුන් පිට පැමිණියේ නැත.
27හෙසකියාට අති මහත් ධනයක් ද ගෞරවයක් ද තිබිණ. ඔහුට රිදී හා රන් සඳහා ද මැණික් හා කුළු බඩු සඳහා ද පලිහ හා මිල අධික සියලු ආකාර භාණ්ඩ සඳහා ද භාණ්ඩාගාර තිබිණ. 28තවද ධාන්‍ය අස්වනු සඳහා, මිදි යුෂ හා තෙල් සඳහා ගබඩාගාර ද හැම වාර්ගික ගවයින් සඳහා ගව ගාල් ද බැටළු කොටු ද ඔහු සෑදුවේ ය. 29එලෙස ම ඔහු තමාට පුරවර සපයා ගෙන, එළු බැටළු හා ගව රංචු අධික ව සපයා ගත්තේ ය. මන්ද දෙවියන්වහන්සේ ඔහුට මහත් වස්තු සම්පත් ලබා දුන් බැවිනි.
30ගීහොන් උල්පතේ ජල පිටවීමේ ඉහළ මාර්ගය අවහිර කර, එය දාවිත් පුරයේ බටහිර දෙසට පහළට ගලා යෑමට සැලසුවේ ද මෙම හෙසකියා ම ය. හෙසකියා තමන් කළ හැම කාරියකින් ම සඵලවත් විය. 31දේශයේ කරන ලද ලකුණ අරබයා කරුණු විමසන්නට බබිලෝනි නිලධාරීන් ඔහු වෙත තානාපතීන් එවූ කල, ඔහු පරීක්ෂා කරන පිණිස හා ඔහුගේ හදවතේ තිබූ සියලු දෑ දැනගැනීමට දෙවියන්වහන්සේ ඉඩ හළ සේක.
32හෙසකියා සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ විශ්වාසවන්ත කාර්යයන් ද ආමෝස්ගේ පුත්‍ර යෙසායා දිවැසිවරයාගේ දර්ශනවල හා යූදා හා ඉශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. 33හෙසකියා තම පියවරුන් සමඟ සැතපුණේ ය. දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන්වල ඉහළ කොටසේ ඔවුහු ඔහු භූමදාන කළහ. සමස්ත යූදා හා යෙරුසලම් වාසී ජනයා ඔහුගේ මරණයේදී ඔහුට ගෞරව කළහ. ඔහු වෙනුවට ඔහුගේ පුත් මනස්සේ රජකමට පත් විය.
Currently Selected:
2 ලේකම් 32: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.