2 ලේකම් 29
29
යූදාහි හෙසකියා රජු
1හෙසකියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමෙහි අවුරුදු විසිනවයක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අබියා ය. ඈ සෙකරියාගේ දියණියයි. 2ඔහු තම පිය වූ දාවිත් කර තිබූ සියල්ල පරිද්දෙන් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කළේ ය.
3ඔහුගේ රජකම් කිරීමේ පළමු අවුරුද්දේ පළමු වන මාසයේ ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරටු විවර කළ ඔහු ඒවා පිළිසකර කරවී ය. 4ඔහු පූජකයින් සහ ලෙවීයයන් ගෙන්වා, නැගෙනහිර විවෘත චතුරස්‍රයට ඔවුන් එක් රැස් කර, 5ඔවුන් අමතමින්, “මට සවන් දෙන්න, ලෙවීවරුනි, දැන් නුඹලා පවිත්‍ර වී, නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහය ද පවිත්‍ර කර, අපවිත්‍රතාව ශුද්ධස්ථානයෙන් ඉවත් කරනු. 6මන්ද අපේ පියවරුන්, අවිශ්වාසී ව, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු ව තිබූ දේ කළ බැවිනි. ඔවුහු උන්වහන්සේ අත්හැර, ස්වාමින්වහන්සේගේ වාසස්ථානයෙන් තම මුහුණු ඉවත හරවා, ඊට ඔවුන්ගේ පිට පෑහ. 7තවද ඔවුන් පිවිසුමේ දොරටු වසා දමා, පහන් නිවා දැමූ අතර ශුද්ධස්ථානයෙහි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට සුවඳ දුම් දැව්වේවත්, දවන පූජා ඔප්පු කළේවත් නැත. 8ස්වාමින්වහන්සේගේ උදහස එබැවින් යූදා හා යෙරුසලම පිට පැමිණ, ඔබේ ම ඇස්වලට පෙනෙන හැටියට උන්වහන්සේ ඔවුන් තැතිගැන්මේ ද විස්මපත්වීමේ ද අවමානයේ ද ආදර්ශයක් බවට පත් කළ සේක. 9මෙන්න! එනිසා අපේ පියවරු කඩුවෙන් වැටී ගියෝ ය; අපේ පුත්‍රයින්, අපේ දූවරුන් හා අපේ භාර්යාවන් වහල්කමේ ය. 10දැන් උන්වහන්සේගේ බලවත් කෝපය අප වෙතින් ඉවත හැරෙන පිණිස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සමඟ ගිවිසුමක් කරන්නට මා හදවතේ තිබේ. 11මගේ පුත්‍රයිනි, නො සැලකිලිමත් නො වන්න. මන්ද තමන්වහන්සේගේ අභිමුඛයේ සිටගන්නටත්, උන්වහන්සේට මෙහෙ කරන්නටත්, උන්වහන්සේගේ මෙහෙකරුවන් වීමටත්, උන්වහන්සේට පඬුරු ඔප්පු කරන්නටත් ස්වාමින්වහන්සේ ඔබ තෝරා ගෙන ඇත.”
12එවිට ලෙවීවරු නැගිට්ටහ:
කොහාත්වරුන්ගෙන්:
අමාසයිගේ පුත්‍ර මහත් හා අසරියාගේ පුත්‍ර යෝවෙල් ය.
මෙරාරීවරුන්ගෙන්:
අබ්දීගේ පුත්‍ර කීෂ් හා යෙහල්ලෙලෙල්ගේ පුත්‍ර අසරියා ය.
ගෙර්ෂොන්වරුන්ගෙන්:
සිම්මාගේ පුත්‍ර යෝවා හා යෝවාගේ පුත්‍ර ඒදන් ය.
13එලිසාෆාන්ගෙන් පැවත එන්නන්ගෙන්:
ෂිම්රි හා යෙයීයෙල් ය.
ආසාෆ්ගෙන් පැවත එන්නන්ගෙන්:
සෙකරියා හා මත්තනියා ය.
14හේමාන්ගෙන් පැවත එන්නන්ගෙන්:
යෙහීයෙල් හා ෂිමෙයි ය.
යෙදූතුන්ගෙන් පැවත එන්නන්ගෙන්:
ෂෙමායා හා උස්සීයෙල් ය.
15ඔවුහු තම සහෝදරයින් එකතු කර ගෙන, තුමූම පවිත්‍ර කර ගෙන, ස්වාමින්වහන්සේගේ වචනයට අනුව රජුගේ අණ පරිදි ස්වාමින්වහන්සේගේ ගෘහය පවිත්‍ර කිරීමට ඇතුළු වූහ. 16පූජකයෝ ස්වාමින්වහන්සේගේ ගෘහය පවිත්‍ර කරන්නට එහි ඇතුළු කොටසට ගියහ. ස්වාමින්වහන්සේගේ මාලිගය තුළ තමන්ට හමු වූ අපවිත්‍ර සියල්ල, ස්වාමින්වහන්සේගේ ගෘහයේ පිටත මළුවට ඔවුහු ගෙන ආහ. ලෙවීවරු එය රැගෙන, කිද්‍රොන් ඔය වෙත පිටතට ගෙන ගියහ. 17පළමු වන මස පළමු වන දින පවිත්‍ර කිරීම ඇරඹූ ඔවුහු, මාසයේ අට වන දින ස්වාමින්වහන්සේගේ පිවිසුම වෙත පැමිණියහ. ඉන්පසු දවස් අටක් ස්වාමින්වහන්සේගේ ගෘහය පවිත්‍ර කිරීමෙහි යෙදුණු ඔවුහු පළමු වන මස දහසය වන දින ඒ කාරිය අවසන් කළහ.
18ඉන්පසු හෙසකියා රජු වෙත ගිය ඔවුහු මෙසේ කීහ: “ස්වාමින්වහන්සේගේ ගෘහය මුළුමනින් අපි පවිත්‍ර කළෙමු; දවන යාග පූජාසනය හා එහි සියලු උපකරණ ද පිදුම් රොටි තබන මේසය හා එහි සියලු උපකරණ ද 19ආහාස් රජුගේ පාලන කාලයේ ඔහු අවිශ්වාසී ව සිටියදී ඔහු බැහැර කළ සියලු උපකරණ ද අපි සූදානම් කර, පවිත්‍ර කළෙමු. මෙන්න! ඒවා ස්වාමින්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේ.”
20ඉක්බිති හෙසකියා රජු උදෑසනින් පිබිද, පුරවරයේ නිලධාරීන් රැස් කර, ස්වාමින්වහන්සේගේ ගෘහය බලා ගියේ ය. 21ඔවුන්, ගවයින් හත්දෙනකු ද බැටළුවන් හත්දෙනකු ද බැටළු පැටවුන් හත්දෙනකු ද පිරිමි එළුවන් හත්දෙනකු ද ගෙන ආවේ, රාජ්‍යය උදෙසා ද ශුද්ධස්ථානය උදෙසා ද යූදා දේශය උදෙසා ද පාප පූජාවක් සඳහා ය. ස්වාමින්වහන්සේගේ පූජාසනය මත උන් ඔප්පු කරන ලෙස, ආරොන්ගේ පුතුන් වූ පූජකයින්ට ඔහු නියෝග කළේ ය. 22එබැවින් ඔවුහු ගවයින් මැරූහ; පූජකයෝ ලෙය පිළිගෙන පූජාසනය පිට ඉසූහ. ඔවුහු බැටළුවන් ද මරා, උන්ගේ ලෙය, පූජාසනය පිට ඉසූහ. ඔවුහු බැටළු පැටවුන් ද මරා, උන්ගේ ලෙය, පූජාසනය පිට ඉසූහ. 23ඉන්පසු පාප පූජාව සඳහා වූ පිරිමි එළුවන් ද රජු හා සභාව වෙත ගෙනෙනු ලැබ, ඔවුහු උන් පිට අත් තැබූහ. 24පූජකයෝ උන් මරා, සමස්ත ඉශ්‍රායෙල් උදෙසා පාප වන්දි නිවාරණය සලසමින්, පූජාසනය මත උන්ගේ ලෙය පාප පූජාවක් කොට දැවූහ. මන්ද දවන යාග පූජාවක් හා පාප පූජාවක් මුළු ඉශ්‍රායෙල් උදෙසා පාප වන්දි නිවාරණය ඔප්පු කළ යුතු යයි රජු නියෝග කළේ ය.
25ඉන්පසු ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ ලෙවීවරුන් ස්ථානගත කළේ අත්තාලම්, මහ වීණා හා වීණා සමඟිනි. එසේ කළේ, දාවිත්ගේ ද රජුගේ අනාගතවක්තෘ වූ ගාද්ගේ හා නාතාන් දිවැසිවරයාගේ ද ආඥාව පරිද්දෙනි. මන්ද ආඥාව, ස්වකීය දිවැසිවරුන් මගින් ස්වාමින්වහන්සේ වෙතිනි. 26ලෙවීවරු, දාවිත්ගේ සංගීත භාණ්ඩ අතැතිව ද පූජකයෝ හොරණෑ අතැතිව ද සිටගත්හ.
27එවිට හෙසකියා දවන යාග පූජා, පූජාසනය මත ඔප්පු කරන ලෙස නියෝග කළේ ය. දවන යාග පූජා පටන් ගනිත් ම, ස්වාමින්වහන්සේට ගීතිකා ද පටන් ගැනිණ. එවිට ඉශ්‍රායෙල් රජු වූ දාවිත්ගේ සංගීත භාණ්ඩවලට සමගාමී ව හොරණෑ නාදය ද ඇරඹිණ. 28මුළු මහත් සභාව නමස්කාර කළෝ ය; ගායනා කරන්නෝ ගායනා කළහ; හොරණෑ නාද හැඬවිණ. මේ සියල්ල දවන යාග පූජා අවසන් වන තෙක් ම පැවතිණ.
29දවන යාග පූජා නිම වූ කල, රජු ද ඔහු සමඟ එහි පැමිණ සිටි සියල්ලෝ ද තුමූම නැමී, නමස්කාර කළහ. 30එවිට හෙසකියා රජුත්, නිලධාරිනුත් ලෙවීයයනට අණ කරමින්, දාවිත්ගේ හා අනාගතවක්තෘ ආසාෆ්ගේ වචන ලෙස ස්වාමින්වහන්සේට ප්‍රශංසා ගී ගයන්නට කීහ. ඔවුහු ප්‍රීතියෙන් යුතු ව ප්‍රශංසා ගී ගැයූහ. ඔවුහු බිමට නැමී, නමස්කාර කළහ.
31ඉන්පසු හෙසකියා කතා කරමින්, “දැන් නුඹලා, නුඹලා ම ස්වාමින්වහන්සේට පවිත්‍ර කර ගෙන සිටී; ළඟා වන්න; යාග පූජා හා ස්තුති දීමනා ස්වාමින්වහන්සේගේ ගෘහයට ගෙන එන්නැ” යි කීවේ ය. සභාව එවිට යාග පූජා හා ස්තුති දීමනා ගෙන ආහ. හෘදයාංගම කැමැත්ත ඇති සියල්ලෝ දවන යාග පූජා ගෙන ආහ.
32දවන යාග පූජා සඳහා සභාව, ගවයින් හැත්තෑ දෙනකු ද බැටළුවන් සිය දෙනකු ද බැටළු පැටවුන් දෙසිය දෙනකු ද ගෙන ආහ. මේ සතුන් සියල්ල ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් සඳහා ය. 33කැප කිරීම් සඳහා ගවයින් හයසියයකි; බැටළුවන් තුන්දහසකි. 34එහෙත් පූජකයින් සිටියේ ඉතා ස්වල්ප දෙනකු බැවින් දවන පූජා සියල්ල හමගැසීම ඔවුනට නුපුළුවන් විය. එබැවින් සෙසු පූජකයින් පවිත්‍ර වී එන තුරු, ඔවුන්ගේ සහෝදරයින් වූ ලෙවීවරු ඒ කාරිය නිම වන තෙක් ඔවුනට උදවු කළහ. මන්ද තුමූම පවිත්‍ර කර ගැන්මේදී ලෙවීවරු පූජකයින්ට වඩා හදවතින් බොහෝ අවංක ව සිටියහ. 35ඒ සා මහත් දවන යාග පූජාවනට අමතරව, ශාන්ති පූජාවල මේදය ද දවන යාග සඳහා වූ පාන පූජා ද එහි විය.
මෙසේ ස්වාමින්වහන්සේගේ ගෘහයේ මෙහෙයය නැවත පිහිටුවනු ලැබිණ. 36හෙසකියා සහ සමස්ත ජනයා ප්‍රීති ප්‍රමෝද වූහ. මන්ද දෙවියන්වහන්සේ ජනයා උදෙසා සූදානම් කර තිබූ එය ක්ෂණික ව පැමිණියකි.
Currently Selected:
2 ලේකම් 29: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.