2 ලේකම් 24
24
දේව මාලිගය පිළිසකර කිරීම
1යෝවාෂ් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු හතක් විය. ඔහු අවුරුදු හතළිහක් යෙරුසලමේ රජකම් කළේ ය. ඔහුගේ මව බෙයර්ෂෙබාහි සිබියා ය. 2යෝවාෂ්, පූජක යෙහෝයාදාගේ මුළු කාලය තුළ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබූ දේ කළේ ය. 3යෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනකු ගෙන දුන්නේ ය. ඔහුට පුත්තු ද දූවරු ද සිටියහ.
4 ස්වාමින්වහන්සේගේ ගෘහය පිළිසකර කරන්නට කලකට පසු යෝවාෂ් තීරණය කළේ ය. 5ඔහු පූජකයින් ද ලෙවීවරුන් ද එකට කැඳවා, ඔවුන්ට කතා කොට, “යූදා පුරවර වෙත යන්න. ඔබගේ දෙවියන්වහන්සේගේ ගෘහය පිළිසකර කිරීම සඳහා අවුරුදු පතා සියලු ම ඉශ්‍රායෙල්වරුන්ගෙන් මුදල් එකතු කර ගන්න. වහාම එය කරන්න වග බලා ගන්නැ” යි පැවසී ය. එහෙත් ලෙවීවරු වහා ක්‍රියාත්මක නො වූහ.
6එබැවින් රජු ප්‍රධානියා වූ යෙහෝයාදා කැඳවා, “සාක්ෂි මණ්ඩපය උදෙසා ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් සහ ඉශ්‍රායෙල් සමාජය නියම කළ බද්ද යූදා හා යෙරුසලමෙන් ගෙන එන්නට ඔබ ලෙවීවරුන්ට නියෝග නො කළේ මන්දැ” යි ඇසී ය.
7තවද දුෂ්ට ගැහැණියක වූ අතලියාගේ පුත්තු දෙවියන්වහන්සේගේ ගෘහය තුළට වැද තිබූ අතර, ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ තිබූ කැප කළ භාණ්ඩ සියල්ල පවා බාල් දෙවිවරුන් සඳහා භාවිත කර තිබුණහ.
8රජුගේ නියෝගය පරිදි ඔවුහු පෙට්ටියක් සාදා, එය ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරටුව පිට පැත්තේ තැබූහ. 9දෙවියන්වහන්සේගේ සේවක මෝසෙස් පාළුකරයේදී ඉශ්‍රායෙල්වරුන්ට නියම කළ බද්ද ස්වාමින්වහන්සේ වෙත ගෙනෙන ලෙසට යූදා හා යෙරුසලම පුරා නිවේදන කෙරිණ. 10අධිපතීහු සියලු දෙනා හා මුළු ජනතාව ප්‍රමෝදවත් ව තමන්ගේ බද්ද ගෙනවුත්, පෙට්ටිය පිරෙන තුරු ඒවා එහි දැමූහ. 11ලෙවීවරුන් එම පෙට්ටිය රජුගේ නිලධාරීන් වෙත ගෙන යන හැම විට එහි මුදල් විශාල ප්‍රමාණයක් තිබෙනු ඔවුහු දුටුවහ. රජුගේ ලේකම් හා ප්‍රධාන පූජකයාගේ නිලධාරියා අවුත්, පෙට්ටිය හිස් කර, එය ගෙන ගොස්, එය තිබූ තැනට යළි යවති. දවසින් දවස ඔවුහු විශාල ප්‍රමාණයෙන් මුදල් එකතු කර ගත්හ. 12රජු හා යෙහෝයාදා, ස්වාමින්වහන්සේගේ ගෘහයේ වැඩ භාර මිනිසුන්ට ඒවා දුන්හ. ඔවුහු ස්වාමින්වහන්සේගේ ගෘහය පිළිසකර කිරීමට ගල් වඩුවන් හා ලී වඩුවන් ද ස්වාමින්වහන්සේගේ ගෘහය පිළිසකර කිරීමේ යකඩ හා ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ.
13මෙසේ වැඩෙහි නිරත ව සිටි අය වෙහෙස ව ක්‍රියා කළෙන්, ඔවුන් යටතේ පිළිසකර කිරීම් කෙරීගෙන ගියේ ය. ඔවුහු මුල් නිර්මාණයට අනුව දෙවියන්වහන්සේගේ ගෘහය පිළිසකර කර, එය ශක්තිමත් කළහ. 14වැඩ නිම වූ කල ඔවුහු ඉතිරි මුදල් රජු හා යෙහෝයාදා වෙත ගෙනාහ. ඒවායින් ස්වාමින්වහන්සේගේ ගෘහයේ සේවාවන් හා දවන යාග පූජා සඳහා උපකරණ ද දීසි ද රන් හා රිදී භාණ්ඩ ද සඳහා ගැනිණ. යෙහෝයාදාගේ සියලු දවස්වලදී ඔවුහු ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ නිති පතා දවන යාග පූජා ඔප්පු කළහ.
15එහෙත් යෙහෝයාදා වයස්ගත ව දවස් සම්පූර්ණ ව මළේ ය. ඔහු මිය යන විට වයස අවුරුදු එකසිය තිහක් විය. 16ඔවුහු දාවිත් පුරයේ රජුන් අතරේ ඔහු භූමදාන කළෝ ය. මන්ද ඔහු ඉශ්‍රායෙලය තුළ ද දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ ගෘහය උදෙසා ද කර තිබූ යහපත නිසා ය.
යෝවාෂ්ගේ ද්‍රෝහිකම
17යෙහෝයාදාගේ මරණයෙන් පසු, යූදා නිලධාරීහු අවුත්, රජුට ගරු බුහුමන් දැක්වූහ. ඔහු ඔවුන්ට සවන් දුන්නේ ය. 18ඔවුහු තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහය අත්හැර දමා, අෂේරා කණුවලටත්, දේවතා පිළිමවලටත් සේවය කළහ. ඔවුන්ගේ වරද නිසා දේව උදහස යූදා සහ යෙරුසලම පිට පැමිණියේ ය. 19එහෙත් ස්වාමින්වහන්සේ ජනතාව ආපසු තමන්වහන්සේ වෙත හරවා ගැනීමට ඔවුන් අතරට දිවැසිවරුන් එවූ සේක; ඔවුන්ට එරෙහිව ඔවුන් සාක්ෂි දුන් නමුදු ඔවුහු කන් නුදුන්හ.
20එවිට දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ පූජක යෙහෝයාදාගේ පුත් සෙකරියා පිට පැමිණි කල, ඔහු ජනයාට ඉහළින් සිටගෙන, “දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක: ‘නුඹලා ස්වාමින්වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන්ද? එබැවින් නුඹලා සඵල වන්නේ නැත. මන්ද නුඹලා ස්වාමින්වහන්සේ අත් හළ නිසා උන්වහන්සේ ද නුඹලා අත් හළ සේකැ’ යි” පැවසී ය.
21එහෙත් ඔවුහු ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කොට, රජුගේ අණ පරිදි ස්වාමින්වහන්සේගේ ගෘහ මළුවේදී ඔහුට ගල් ගසා මරා දැමූහ. 22මෙසේ යෝවාෂ් රජු සෙකරියාගේ පියාණන් වූ යෙහෝයාදා තමාට දැක් වූ කරුණාව අමතක කරමින්, ඔහුගේ පුතා මරා දැම්මේ ය. ඔහු මිය යද්දී, “ස්වාමින්වහන්සේ මේ බලා පළි ගන්නා සේක්වා” යි පැවසී ය.
23වසර අවසානයේ අරාම් හමුදාව යෝවාෂ්ට එරෙහිව ආවේ ය. ඔවුහු යූදාවට හා යෙරුසලමට පැමිණ, ජනයා අතරේ වූ ජනයාගේ අධිපතීන් සියල්ලන් විනාශ කර, ඔවුන්ගේ කොල්ලය දමස්කයේ රජු වෙත යැවූහ. 24අරාම් හමුදාව පැමිණියේ ටික දෙනකුගෙන් සමන්විත ව වුව ද ස්වාමින්වහන්සේ අති විශාල හමුදාවක් ඔවුන් අතට හසුකර දුන්නේ, යූදා තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත්හැරිය නිසා ය. මෙසේ ඔවුහු යෝවාෂ් පිට විනිශ්චයේ දඬුවම පැමිණ වූහ. 25ඔහු ඔවුන් වෙතින් ඉවත් ව ගියේ බරපතළ ලෙස ඔහු තුවාල ලැබ සිටියදී ය. රජුගේ සේවකයෝ පූජක යෙහෝයාදාගේ පුත්‍රයාගේ ලේ ගැන ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කොට, ඔහුගේ ඇඳේදී ම මරා දැමූහ. ඔහු මළේ ය. ඔවුහු දාවිත් පුරයේ ඔහු භූමදාන කළහ. එහෙත් ඔවුන් රජවරුන්ගේ සොහොන්වල ඔහු භූමදාන කළේ නැත.
26ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කළේ අම්මොනීය ස්ත්‍රියක වූ ෂිමෙයාත්ගේ පුත් සාබාද් හා මෝවබීය ස්ත්‍රියක වූ ෂිම්රීත්ගේ පුත් යෙහෝසාබාද් ය. 27ඔහුගේ පුතුන්ගේ තොරතුරු ද ඔහු සම්බන්ධ බොහෝ කියමන් ද දෙවියන්වහන්සේගේ ගෘහය යළි ගොඩ නැගීමේ කටයුතු ද ගැන රජවරුන්ගේ අටුවා පොතේ ලියැවී ඇත. ඔහුගේ පුත්‍ර අමසියා ඔහුගෙන් පසු රජකමට පත් විය.
Currently Selected:
2 ලේකම් 24: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.