2 ලේකම් 24:17-27
2 ලේකම් 24:17-27 SCV
යෙහෝයාදාගේ මරණයෙන් පසු, යූදා නිලධාරීහු අවුත්, රජුට ගරු බුහුමන් දැක්වූහ. ඔහු ඔවුන්ට සවන් දුන්නේ ය. ඔවුහු තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහය අත්හැර දමා, අෂේරා කණුවලටත්, දේවතා පිළිමවලටත් සේවය කළහ. ඔවුන්ගේ වරද නිසා දේව උදහස යූදා සහ යෙරුසලම පිට පැමිණියේ ය. එහෙත් ස්වාමින්වහන්සේ ජනතාව ආපසු තමන්වහන්සේ වෙත හරවා ගැනීමට ඔවුන් අතරට දිවැසිවරුන් එවූ සේක; ඔවුන්ට එරෙහිව ඔවුන් සාක්ෂි දුන් නමුදු ඔවුහු කන් නුදුන්හ. එවිට දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ පූජක යෙහෝයාදාගේ පුත් සෙකරියා පිට පැමිණි කල, ඔහු ජනයාට ඉහළින් සිටගෙන, “දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක: ‘නුඹලා ස්වාමින්වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන්ද? එබැවින් නුඹලා සඵල වන්නේ නැත. මන්ද නුඹලා ස්වාමින්වහන්සේ අත් හළ නිසා උන්වහන්සේ ද නුඹලා අත් හළ සේකැ’ යි” පැවසී ය. එහෙත් ඔවුහු ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කොට, රජුගේ අණ පරිදි ස්වාමින්වහන්සේගේ ගෘහ මළුවේදී ඔහුට ගල් ගසා මරා දැමූහ. මෙසේ යෝවාෂ් රජු සෙකරියාගේ පියාණන් වූ යෙහෝයාදා තමාට දැක් වූ කරුණාව අමතක කරමින්, ඔහුගේ පුතා මරා දැම්මේ ය. ඔහු මිය යද්දී, “ස්වාමින්වහන්සේ මේ බලා පළි ගන්නා සේක්වා” යි පැවසී ය. වසර අවසානයේ අරාම් හමුදාව යෝවාෂ්ට එරෙහිව ආවේ ය. ඔවුහු යූදාවට හා යෙරුසලමට පැමිණ, ජනයා අතරේ වූ ජනයාගේ අධිපතීන් සියල්ලන් විනාශ කර, ඔවුන්ගේ කොල්ලය දමස්කයේ රජු වෙත යැවූහ. අරාම් හමුදාව පැමිණියේ ටික දෙනකුගෙන් සමන්විත ව වුව ද ස්වාමින්වහන්සේ අති විශාල හමුදාවක් ඔවුන් අතට හසුකර දුන්නේ, යූදා තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත්හැරිය නිසා ය. මෙසේ ඔවුහු යෝවාෂ් පිට විනිශ්චයේ දඬුවම පැමිණ වූහ. ඔහු ඔවුන් වෙතින් ඉවත් ව ගියේ බරපතළ ලෙස ඔහු තුවාල ලැබ සිටියදී ය. රජුගේ සේවකයෝ පූජක යෙහෝයාදාගේ පුත්‍රයාගේ ලේ ගැන ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කොට, ඔහුගේ ඇඳේදී ම මරා දැමූහ. ඔහු මළේ ය. ඔවුහු දාවිත් පුරයේ ඔහු භූමදාන කළහ. එහෙත් ඔවුන් රජවරුන්ගේ සොහොන්වල ඔහු භූමදාන කළේ නැත. ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කළේ අම්මොනීය ස්ත්‍රියක වූ ෂිමෙයාත්ගේ පුත් සාබාද් හා මෝවබීය ස්ත්‍රියක වූ ෂිම්රීත්ගේ පුත් යෙහෝසාබාද් ය. ඔහුගේ පුතුන්ගේ තොරතුරු ද ඔහු සම්බන්ධ බොහෝ කියමන් ද දෙවියන්වහන්සේගේ ගෘහය යළි ගොඩ නැගීමේ කටයුතු ද ගැන රජවරුන්ගේ අටුවා පොතේ ලියැවී ඇත. ඔහුගේ පුත්‍ර අමසියා ඔහුගෙන් පසු රජකමට පත් විය.


