YouVersion Logo
Search Icon

2 ලේකම් 20

20
යෙහෝෂාෆාට්ගේ යාච්ඤාව
1මින් අනතුරුව මෝවබ්වරු, අම්මොන්වරු හා ඔවුන් සමඟ මෙයූනිවරු#20:1 මෙයූනිවරු හෙබ්‍රෙව්. සමහර ග්‍රීක් පිටපත්වලට අනුව ය සමහර අම්මොන්වරු ඇතැම් දෙනෙක් යෙහෝෂාෆාට්ට එරෙහිව සටනට ආහ.
2මිනිසුන් ඇතැම් දෙනෙක් අවුත්, යෙහෝෂාෆාට්ට කතා කොට, “ඒදොම්#20:2 ඒදොම් සමහර හෙබ්‍රෙව් පිටපත්වල අරාම් ලෙස ඇත. සිට, මුහුදින්#20:2 මුහුදින් එනම් මළ මුහුදින් එතෙර සිට ඔබට එරෙහිව මහ හමුදාවක් එනවා. අන්න! ඔවුන් හසසොන්-තාමාර්වල (එනම් ඒන්-ගෙදී) යැ” යි පැවසූහ. 3යෙහෝෂාෆාට් භයපත් ව ස්වාමින්වහන්සේ සොයන්නට අදිටන් කර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කළේ ය. 4ස්වාමින්වහන්සේගෙන් පිළිසරණ සොයන්නට යූදා ජනයා එක් රැස් වූහ; ඔවුහු ස්වාමින්වහන්සේ සොයන්නට හැම යූදා නගරයකින් ම පැමිණියහ.
5ඉන්පසු යෙහෝෂාෆාට්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ නව මළුව ඉදිරිපිට සිටි යූදා හා යෙරුසලම් එක් රැස්වීම අබියස සිටගෙන, 6මෙසේ පැවසී ය:
“අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ස්වර්ගයේ සිටින දෙවියන්වහන්සේ ඔබ නො වේ ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් පාලනය කරන්නේ ඔබයි. බලයත්, පරාක්‍රමයත් ඔබ හස්තයේ හෙයින් කවරකුටවත් ඔබට එරෙහිව සිටිය නො හැකි ය. 7ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ඉදිරිපිටින් මේ දේශ වාසීන් පන්නා, ඔබේ මිත්‍ර ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ට සදහට ම එය දුන් අපගේ දෙවියන්වහන්සේ, ඔබවහන්සේ නො වේ ද? 8ඔවුහු එහි වාසය කළෝ, ඔබගේ නාමය උදෙසා එහි ශුද්ධස්ථානයක් ඉදිකළෝ, 9‘අප පිට යම් ව්‍යසනයක් වන අසිපත, විනිශ්චය, හෝ වසංගතය හෝ සාගතය පැමිණියොත්, අපගේ විපතේදී ඔබේ නාමය දරන මේ ගෘහය ඉදිරිපිට ඔබ අබියස අපි ඔබට මොරගසන්නෙමු. ඔබ අපට සවන් දී, අප ගලවන සේකැ’ යි පැවසූහ.
10“එහෙත් බැලුව මැනව! ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට ආ කල, දැන් මෙහි සිටින අම්මොන්, මෝවබ් හා සේයිර් කඳුකර මිනිසුන්ගේ පළාත ආක්‍රමණ කරන්නට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් සේක. එබැවින් ඔවුහු ඔවුන් විනාශ නො කොට, ඔවුන්ගෙන් ඉවත් ව ගියහ. 11බැලුව මැනව! උරුමයක් වශයෙන් ඔබ අපට දුන් දේශයෙන් අප පන්නා දමන්නට ඔවුන් පැමිණීමෙන් ඔවුන් අපට පල විපාක දෙන අයුරු. 12අහෝ අපගේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය කරන්නේ නැද්ද? මන්ද අපට එරෙහිව පැමිණෙන මේ සුවිශාල හමුදාවට මූණ දෙන්නට අපට ශක්තියක් නැත. කුමක් කරන්නදැයි අපි නො දනිමු. එහෙත් අපගේ ඇස් ඔබ වෙත යැ” යි පැවසූහ.
13මුළු යූදා ජනතාව තම භාර්යාවන් ද දරුවන් ද අත දරුවන් ද සමඟ ස්වාමින්වහන්සේ අබියස සිටගෙන සිටියහ.
14එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එක් රැස් ව සිටි පිරිස අතර සිටගෙන සිටි ආසාෆ්ගෙන් පැවත එන්නෙක් ද ලෙවීයයෙක් ද වූ මත්තනියාගේ පුත්, යෙයීයෙල්ගේ පුත්, බෙනායාගේ පුත්, සෙකරියාගේ පුත් යහසීයෙල් පිට පැමිණි සේක.
15ඔහු කතා කොට, “සවන් දෙන්න යූදාහි සියල්ලෙනි, යෙරුසලම් වැසියෙනි, යෙහෝෂාෆාට් රජතුමනි, ස්වාමින්වහන්සේ ඔබට මෙසේ පවසන සේක, ‘මේ සුවිශාල හමුදාව නිසා භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද යුද්ධය ඔබගේ නො වෙයි. දෙවියන්වහන්සේගෙයි. 16හෙට ඔවුන්ට එරෙහිව බැස යන්න. ඔවුන් සීස් මංකඩින් නැග එනු ඇත. යෙරූවෙල් කාන්තාරයේ ඇති දොරුව කෙළවරදී ඔවුන් ඔබට මුණ ගැසෙනු ඇත. 17මෙම යුද්ධයේදී ඔබ සටන් කළ යුතු නැත. ස්ථාවර ව සිටින්න. ඔබේ ස්ථානයේ රඳා සිටින්න; ඔබ උදෙසා ස්වාමින්වහන්සේගේ ගැලවීම බලා සිටින්න. එම්බා යූදා හා යෙරුසලම, භය වන්න එපා; කැලඹෙන්න එපා. හෙට ඔවුන්ට එරෙහිව යන්න. ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ’ යි” පැවසී ය.
18එවිට යෙහෝෂාෆාට් ඔහුගේ හිස නවා, ඔහුගේ මුහුණ බිමට නමා ගත්තේ ය. සියලු යූදා හා යෙරුසලම් වාසීහු ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, ස්වාමින්වහන්සේ අබියස වැඳ වැටුණහ. 19කොහාත්ගෙන් ද කෝරාගෙන් ද පැවත එන්නවුන් වූ ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහ හඬින් ප්‍රශංසා කරන්නට නැගිට, සිටගත්හ.
20අලුයම් උදය නැගුටුණු ඔවුහු තෙකෝවා කාන්තාරයට පිටත් ව ගියහ. ඔවුන් පිටත් ව යන කල යෙහෝෂාෆාට් නැගිට කතා කරමින්, “සවන් දෙන්න මට, යූදාවරුනි, යෙරුසලම් වැසියෙනි, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. එවිට ඔබ ස්ථාවර වනු ඇත. උන්වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. ඔබ සාර්ථක වනු ඇතැ” යි පැවසී ය. 21ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෙහෝෂාෆාට්, හමුදාවට පෙරටුව යමින්,
ස්වාමින්වහන්සේට ස්තුති පුදන්න.
මන්ද උන්වහන්සේගේ නොමියෙන පෙම සදහට පවත්නේ යැ” යි
පවසමින්,
ස්වාමින්වහන්සේට ගායනා කරන්නන් හා උන්වහන්සේගේ ශුද්ධකමේ අලංකාරය ගැන ප්‍රශංසා කරන්නන් පත් කළේ ය.
22ඔවුන් ගායනා කරන්නටත්, ප්‍රශංසා කරන්නටත් පටන් ගත් කල, යූදාට එරෙහිව පැමිණි අම්මොන්, මෝවබ් හා සේයිර් කඳුකර වාසීන්ට දැඩි පරාජයක් වන පිණිස ස්වාමින්වහන්සේ ඔවුන්ට එරෙහිව රහසේ රැක සිටින්නන් තැබූ සේක. 23අම්මොන් හා මෝවබ් මිනිස්සු සේයිර් කඳුකර වාසීන් විනාශ කර දමන්නට ඔවුන්ට එරෙහිව නැගිටුණහ. සේයිර් වාසීන් ඝාතන කර නිම වූ පසු, ඔවුහු සියල්ලෝ එකිනෙකා විනාශ කරන්නට උපකාර වූහ.
24යූදා ජනයා කාන්තාරයේ මුර කොටුවට අවුත්, ඒ සුවිශාල සේනාව දෙස බැලූ කල මෙන්න! ඔවුන් දුටුවේ බිම වැතිරී තිබූ මළ කඳන් පමණි. කිසිවකුත් බේරී සිටියේ නැත. 25එබැවින් යෙහෝෂාෆාට් හා ඔහුගේ මිනිස්සු ඔවුන්ගෙන් කොල්ලය ගැනීමට ආහ. විශාල ප්‍රමාණයෙන් වස්තුව ද ඇඳුම්#20:25 ඇඳුම් හෙවත් මළ කඳන් ද වටිනා භාණ්ඩ ද ඒ අතර ඔවුන්ට හමු විය. ඔවුහු තමන්ට තවදුරටත් ගෙන යන්නට නො හැකි තරමට ඒ දේවල් එකතු කර ගත්හ. එම කොල්ලය ඒ සා විශාල ව තිබූ බැවින් එය එකතු කර ගන්නට ඔවුන්ට දවස් තුනක් ගත විය. 26හතර වන දවසේ ඔවුහු ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීමට බෙරාකා මිටියාවතේ එක් රැස් වූහ. එහිදී ඔවුන් උන්වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා ම එම මිටියාවත බෙරාකා#20:26 බෙරාකා හෙවත් ප්‍රශංසා නමින් හැඳින් වේ.
27ඉන්පසු යෙහෝෂාෆාට්ගේ නායකත්වයෙන් යුත් යූදා හා යෙරුසලම් වාසී සියල්ලෝ ප්‍රීතියෙන් යුතු ව යෙරුසලමට ආපසු ආවෝ ය. මන්ද ඔවුන්ට තම සතුරන් ගැන ප්‍රීති වන්නට ස්වාමින්වහන්සේ සැලසූ සේක. 28ඔවුහු යෙරුසලමට පැමිණ, මහ වීණා ද වීණා ද හොරණෑ ද සහිත ව ස්වාමින්වහන්සේගේ ගෘහයට පිවිසුණහ.
29ඉශ්‍රායෙල්ගේ සතුරන්ට එරෙහිව ස්වාමින්වහන්සේ සටන් කර තිබූ අයුරු සියලු රට-රාජ්‍යයන් ඇසූ කල, දෙවියන්වහන්සේගේ භීතිය ඔවුන් කරා පැමිණියේ ය. 30යෙහෝෂාෆාට්ගේ රාජ්‍යය නිශ්චල ව පැවතිණි. මන්ද ඔහුගේ දෙවියන්වහන්සේ හැම අතින් ම ඔහුට ශාන්තිය දී තිබිණි.
යෙහෝෂාෆාට්ගේ රාජ්‍ය පාලනයේ අවසානය
31මෙසේ යෙහෝෂාෆාට්, යූදා පාලනය කළේ ය. ඔහු යූදාහි රජ බවට පත් වන කල තිස්පස් වන වියේ පසු විය. ඔහු යෙරුසලමේ වසර විසිපහක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අසූබා ය. ඇය ෂිල්හීගේ දියණියයි. 32තම පියා වූ ආසාගේ මාර්ගවල පැවතුණු ඔහු ඉන් ඉවත් වූයේ නැත; ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබූ දේ කළේ ය. 33එසේ වුවත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි. මේ දක්වා ම ජනතාව තම හදවත් තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වෙත යොමු නො කළහ.
34යෙහෝෂාෆාට් සම්බන්ධ සෙසු කාරණා මුල පටන් අවසානය දක්වා හනානීගේ පුත් යේහූගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. ඒවා ඉශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ.
35පසුව යූදා රජු වූ යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජු වූ, දුෂ්ට ලෙස ක්‍රියා කළ අහසියා සමඟ එකතු විය. 36තර්ෂිෂ්ට යෑම සඳහා නැව්#20:36 නැව් හෙවත් තර්ෂිෂ්ට යා හැකි නැව් සාදන්නට යෙහෝෂාෆාට් ඔහු හා එක් විය. ඔවුහු එසියොන්-ගෙබෙර්හි දී ඒවා තැනූහ. 37මාරේෂාහි දොදාවාහුගේ පුත් එලියේසර්, යෙහෝෂාෆාට්ට එරෙහිව දිවැස් වැකි පවසමින්, “ඔබ අහසියා සමඟ එක් වූ බැවින් ස්වාමින්වහන්සේ ඔබ සෑදූ දේ විනාශ කරන සේකැ” යි කී ය. මෙසේ නැව් කැඩී බිඳී යාම නිසා තර්ෂිෂ්ට යාත්‍රා කරන්නට නො හැකි විය.

Currently Selected:

2 ලේකම් 20: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for 2 ලේකම් 20