YouVersion Logo
Search Icon

2 ලේකම් 19

19
යෙහෝෂාෆාට්ගේ ප්‍රතිසංස්කරණය
1යූදා රජු යෙහෝෂාෆාට්, යෙරුසලමෙහි තම මන්දිරයට සුරක්ෂිත ව පැමිණි කල, 2හනානීගේ පුත් අනාගතවක්තෘ යේහූ ඔහු මුණගැසෙන පිණිස පිටත් ව ගොස්, රජුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, ස්වාමින්වහන්සේට වෛරවන්නන්හට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ නිසා ස්වාමින්වහන්සේගේ උදහස ඔබ වෙත පිටත් ව ඇත. 3එසේ වුවත් ඔබ තුළ යහපතක් හමු වී තිබේ. මන්ද ඔබ දේශයෙන් අෂේරා කණු විනාශ කර, දෙවියන්වහන්සේ සොයන්නට ඔබේ හද යොමු කර තිබේ යැ” යි පැවසී ය.
යෙහෝෂාෆාට් විනිසුරුවන් පත් කරයි
4යෙහෝෂාෆාට්, යෙරුසලමේ වාසය කළේ ය. ඔහු බෙයර්ෂෙබා පටන් එප්‍රායිම් කඳුරට දක්වා වූ ජනයා අතරට යළි ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ඔවුන් ආපසු හැරවී ය. 5ඔහු පුරවරයෙන් පුරවරයට දේශය තුළ එනම් යූදා දේශය තුළ හැම බළකොටු පුරවරයකට ම විනිසුරුවන් පත් කළේ ය. 6ඔහු ඔවුන් අමතමින්, “ඔබ කරන්නේ කුමක් ද යන්න ගැන පරෙස්සමින් සලකා බලන්න. මන්ද ඔබ විනිශ්චය කරන්නේ මිනිසා උදෙසා නො ව ස්වාමින්වහන්සේ උදෙසායි. ඔබ තීන්දුවක් දෙන කල උන්වහන්සේ ඔබ සමඟ වන සේක. 7දැන් ස්වාමින්වහන්සේගේ භීතිය ඔබ පිට වේවා! පරෙස්සමින් විනිශ්චය කරන්නට වග බලා ගන්න. මන්ද අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත අකටයුත්තක් වත්, පක්ෂපාතීත්වයක් වත්, අල්ලස් ගැනීමක් වත් නැතැ” යි කීවේ ය.
8යෙහෝෂාෆාට්, ලෙවීවරුන් ඇතැම් දෙනකු ද පූජකයින් ද ඉශ්‍රායෙල් පියවංශ නායකයින් ද යෙරුසලමට පත් කළේ ස්වාමින්වහන්සේගේ නීතිය ක්‍රියාත්මක කරවීමට හා නඩු විසඳීමට ය. ඔවුහු යෙරුසලමෙහි පදිංචි වූහ. 9ඔහු මේ නියෝගය ඔවුන්ට දුන්නේ ය: “ඔබ ස්වාමින්වහන්සේට භය පක්ෂපාතීත්වයෙන්, විශ්වසනීය ව හා මුළු හදින් කාර්යය කළ යුතු ය. 10පුරවාසී ඔබේ සහෝදර රට වැසියන්ගෙන් ඔබ ඉදිරියට පැමිණෙන සෑම නඩුවකදී ම එනම් ලේ වැගිරීමක් හෝ ව්‍යවස්ථාව, ආඥා, නියෝග හා නියමයන් පිළිබඳ කාරණයකදී ස්වාමින්වහන්සේට එරෙහිව පව් නො කරන පිණිස ඔබ ඔවුන්ට අවවාද කළ යුතුයි. එසේ නො වුවහොත් උන්වහන්සේගේ උදහස ඔබ පිටටත්, ඔබේ සහෝදරයන් පිටටත් පැමිණෙනවා ඇත. එසේ කරන්න. එවිට ඔබ වරදකරුවන් නො වනු ඇත.
11“ඔන්න! උත්තම පූජක අමරියා ස්වාමින්වහන්සේ පිළිබඳ සියලු කරුණුවලදී ඔබට ඉහළින් සිටී. රජු පිළිබඳ හැම කාරණයක් ම යූදා ගෝත්‍ර වංශික ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා භාරයේ ය. ලෙවීවරු නිලධාරීන් වශයෙන් ඔබට සේවය කරන්නෝ ය. දිරිමත් ව කටයුතු කරන්න. ස්වාමින්වහන්සේ නිවැරදි දේ කරන්නන් සමඟ වන සේක්වා!”

Currently Selected:

2 ලේකම් 19: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in