1 තිමෝති 5
5
වැන්දඹුවන්, සභා නායකයින් හා වහලුන්
1මහලු කෙනකුට සැරෙන් තරවටු නො කරන්න. එවැන්නකුට ඔබේ පියාට මෙන් අනුශාසනා කරන්න. තරුණයින් ඔබේ සහෝදරයින් වශයෙන් ද 2මහලු ස්ත්රීන් මවුවරුන් සේ ද තරුණ ස්ත්රීන් සහෝදරියන් සේ මුළුමනින් පවිත්ර සිතින් ද සලකන්න.
3සැබවින් වැන්දඹු වූ වැන්දඹුවනට ගෞරව කරන්න. 4එහෙත් යම් වැන්දඹුවකට දරුවන්, මුණුබුරන් සිටී නම්, ඒ දරු මුණුබුරන් පළමු කොට ඔවුන්ගේ ගෘහ වාසීන් වෙත භක්තිවන්තකම පෙන්වමින්, තම මාපියනට සත්කාර සැලසීමට ද ඉගෙන ගනිත්වා; එය දෙවියන්වහන්සේ ඉදිරියේ ප්රසන්න ය. 5තනි වී, සැබවින් වැන්දඹුව සිටින්නී, දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබා, රෑ දහවල් නිරතුරු යාච්ඤාවේ යෙදෙමින්, දෙවියන්වහන්සේගෙන් පිහිට යදින්නී ය. 6එහෙත් කෙළි දෙලෙන් සිටින්නී ජීවත් ව සිටියත් මැරිලා ය. 7දෝෂ දර්ශනයට ලක් නො වන පිණිස ජනයාට මේවා අණ කරන්න. 8යමෙක් තම නෑයින්ට, විශේෂයෙන් ම තම පවුලේ අයට තම යුතුකම් ඉටු කරන්නේ නැති නම්, ඔහු ඇදහිල්ල ඉවත දැමූවකු ද නො ඇදහිලිකරුවකුටත් වඩා අන්ත කෙනකු ද වෙයි.
9වැන්දඹු නාම ලේඛනයට ඇතුළු කළ යුත්තේ, වයසින් අවුරුදු හැටකට අඩු නැති, එක පුරුෂයකුට භාර්යාවක ව සිටි, 10යහ වැඩ ගැන හොඳ නමක් ඇති තැනැත්තියකි; එනම්, දරුවන් ඇතිදැඩි කළ, ආගන්තුක සත්කාර පෑ, ශුද්ධවතුනගේ පා සේදූ, දුකට පත්වූවනට පිහිට වූ, හැම හොඳ වැඩකට ම කැප ව සිටි තැනැත්තියකි.
11එහෙත් තරුණ වැන්දඹුවන් ලේඛනගත කිරීම ප්රතික්ෂේප කරන්න. මන්ද ඔවුන්ගේ අනුරාගී ආශා මගින් ඔවුන් ක්රිස්තුස්වහන්සේ වෙතින් ඈත් කළ විට, නැවත විවාහ වීමට ඔවුහු ආශා කරති. 12මෙසේ ඔවුහු තමන්ගේ පළමු පොරොන්දුව කඩ කිරීමෙන් තමන්ට ම විනිශ්චය පමුණුවා ගනිති. 13ඒ හැර ඔවුහු අලස ව කල් මැරීමටත්, ගෙන් ගෙට යෑමටත් පුරුදු ව, අලසයින් වෙනවා පමණක් නො ව, ඕපාදූප කාරියන් ද නො කිව යුතු දෑ පවසමින් අනුන්ගේ වැඩට ඇඟිලි ගසන්නියන් ද වෙති. 14එබැවින් තරුණ වැන්දඹුවන් විවාහ වන ලෙසත්, දරුවන් ලබන ලෙසත්, තම ගේ-දොර බලාගන්නා ලෙසත්, එමඟින් අපවාද නැගීමට සතුරාට ඉඩ නො තබන ලෙසත් උපදෙස් දෙමි. 15මන්ද ඇතමුන් දැනටමත් සාතන් පසු පස හැරී ගොසිනි.
16යම් ඇදහිලිවන්තියකගේ පවුලේ වැන්දඹුවන් සිටී නම්, සභාවට ඔවුන් බරක් වීමට ඉඩ නො තබා, ඇය ඔවුන්ට උපකාර කරත්වා. එවිට සැබෑවට වැන්දඹු වූවනට සැලකීමට සභාවට හැකි වේ.
17දේශනා කිරීමේ හා ඉගැන්වීමේ යෙදෙමින්, සභා කටයුතු හොඳින් මෙහෙය වන සභා-මූලිකයන් දෙගුණයක් ගරු සැලකිලි ලබන්නට සුදුසු ය. 18මන්ද, “ගොයම් මඩින කල ගවයාගේ කට නො බැඳිය යුතු ය”#5:18 ද්වි 25;4 කියා ද “සේවකයා ඔහුගේ ගාස්තුව ලැබිය යුත්තෙකි”#5:18 ලූක් 10;7 කියා ද ශුද්ධ ලියවිල්ල පවසයි. 19සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂි සාධක ඇතොත් මිස, සභා-මූලිකයකුට එරෙහි චෝදනා නො පිළිගන්න. 20එහෙත් සෙසු අය ද බය ඇති ව සිටින පිණිස, දිගට ම පව් කරන්නවුනට සෙසු අය ඉදිරියේ ප්රසිද්ධියේ තරවටු කරන්න. 21දෙවියන්වහන්සේ ද ක්රිස්තුස් යේසුස්වහන්සේ ද තෝරාගත් දේව දූතයින් ද ඉදිරියේ මා ඔබට අණ කරන්නේ, පූර්ව නිගමනවලින් හා පක්ෂවාදිකම්වලින් තොර ව මෙම උපදෙස් පිළිපදින ලෙස ය;
22අත් තබා ආලේප කිරීමට ඉක්මන් නො වන්න. අනුන්ගේ පව්වලට හවුල් නො වන්න. ඔබ ම පවිත්ර ව සිටින්න.
23වතුර පමණක් බීමෙන් වැළකී, ඔබගේ උදර ආබාධ හා නිතර වන අසනීප නිසා මිදි යුෂ ස්වල්පයක් භාවිත කරන්න.
24ඇතමුන්ගේ පාප, විනිශ්චයට පළමුවෙන් ම පැහැදිලි ය. එහෙත් ඇතමුන්ගේ පාප පසුව එළිදරවු වෙයි. 25සත් ක්රියා ද එසේ ම පැහැදිලි ව පෙනේ. පැහැදිලි ව නො පෙනුන ද ඒවා සැඟවී තිබෙන්නට බැරි ය.
Currently Selected:
1 තිමෝති 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.