1 සාමුවෙල් 8:1-7
1 සාමුවෙල් 8:1-7 SCV
සාමුවෙල් මහලු වූ කල, ඔහු තම පුතුන් ඉශ්‍රායෙල්හි විනිසුරුවන් කොට පත් කළේ ය. ඔහුගේ කුලුඳුල් පුතුගේ නම යෝවෙල් ය. දෙවැන්නාගේ නම අබියා ය. ඔවුහු බෙයර්ෂෙබාහි විනිසුරුවන් ලෙස කටයුතු කළහ. එහෙත් ඔහුගේ පුතුන්, ඔහුගේ මාර්ගවල හැසිරුණේ නැත. අයුතු වාසිය වෙත හැරී ගිය ඔවුහු අල්ලස් ගෙන, යුක්තිය පෙරළූහ. එබැවින් ඉශ්‍රායෙල් සියලු වැඩිමහල්ලෝ එකට එක් රැස් ව, සාමුවෙල් වෙත රාමාට ආහ. ඔවුහු ඔහු අමතමින්, “බලන්න, ඔබ දැන් මහලුයි. ඔබේ පුතුන් ඔබේ මාර්ගවල ගමන් කරන්නේ නෑ. එනිසා අනෙක් හැම ජාතියකට වගේ ම අප විනිශ්චය කරන්නට අපටත් රජකු පත් කර දෙන්නැ” යි ඉල්ලූහ. එහෙත්, “අප විනිශ්චය කරන්නට අපට රජකු දෙන්නැ” යි යන ඔවුන්ගේ කීමට, සාමුවෙල් නො සතුටු විය. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ජනතාව ඔබට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මන්ද, ඔවුන්, ඔබ ප්‍රතික්ෂේප කරනවා නො වේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ, මා ඔවුන්ගේ රජු ව සිටීමයි.





