1 සාමුවෙල් 5:1-7
1 සාමුවෙල් 5:1-7 SCV
දෙවියන්වහන්සේගේ කරඬුව අල්ලා ගත් පිලිස්තිවරු එබෙන්-ඒසෙර්හි සිට එය අෂ්දෝද් වෙත ගෙනාහ. ඉන්පසු පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ කරඬුව, දාගෝන්ගේ දෙවොලට ගෙන අවුත්, දාගෝන් පසෙකින් පිහිටූහ. අෂ්දෝද් වාසීන් පසු දා උදෙන් පිබිදුණු කල, මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. ඔවුහු දාගෝන් ගෙන, ආපසු ඔහුගේ ස්ථානයේ තැබූහ. එහෙත් පසු දා උදෑසන ඔවුන් පිබිදුණු කල මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. දාගෝන්ගේ හිස හා අත් කැඩී, වෙන් වී, එළිපත්ත මත වැටී තිබිණි. ඉතිරි ව තිබුණේ දාගෝන්ගේ කඳ කොටස පමණි. අද දවස දක්වාත්, දාගෝන්ගේ පූජකයින් හෝ සෙසු අය අෂ්දෝද්හි දාගෝන්ගේ දෙවොලට ඇතුළුවීමේදී එළිපත්ත නො පාගන්නේ එබැවිනි. ස්වාමින්වහන්සේගේ හස්තය අෂ්දෝද් වාසීන් පිට බර විය. උන්වහන්සේ අෂ්දෝද් හා එහි භූමි ප්‍රදේශයේ ජනයාට විස ගඩු හට ගැන්වීමෙන්, ඔවුන්ට පීඩා කළ සේක. සිදු වන්නේ කුමක් දැයි දුටු අෂ්දෝද් වාසීහු, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්ගේ කරඬුව මෙහි අප සමඟ නො තිබිය යුතුයි. මන්ද උන්වහන්සේගේ හස්තය අප පිටත්, අපගේ දෙවියන් වන දාගෝන් පිටත් බර වී ඇතැ” යි කීහ.





