1 සාමුවෙල් 26
26
දාවිත්ගේ වික්‍රමයක්
1සීෆීවරු ගිබෙයාහි සාවුල් වෙත පැමිණ, “යෙෂීමොන් ඉදිරිපිට හකීලා හෙලේ දාවිත් සැඟවී සිටිනවා නො වේ දැ?” යි කීහ.
2එබැවින් සාවුල් නැගිට, තෝරාගත් ඉශ්රායෙල් මිනිසුන් තුන්දහසක් ද කැටිව, සීෆ් කාන්තාරයේ දාවිත් සොයන රිසින්, සීෆ් කාන්තාරය බලා ගියේ ය. 3සාවුල්, යෙෂීමොන්ට මුහුණ ලා හකීලා හෙලේ පාර අද්දර තම කඳවුර ගසා ගත්තේ ය. එහෙත් දාවිත් පාළුකරයේ ම නැවතී සිටියේ ය. සාවුල්, තමා පසු පස පාළුකරයට පැමිණ ඇති වග දුටු දාවිත්, 4ඔත්තුකරුවන් යවා, සාවුල් නියතයෙන් ම පැමිණ ඇති වග දැනගත්තේ ය.
5ඉන්පසු දාවිත් පිටත් වී, සාවුල් කඳවුරු බැඳි ස්ථානය බලා ගියේ ය. සාවුල් හා ඔහුගේ හමුදාපති, නේර්ගේ පුත්‍ර අබ්නේර් නිදා සිටි තැන දාවිත් දුටුවේ ය. සාවුල් කඳවුර තුළ නිදා සිටියේ ය. ඔහුගේ සේනාව ඔහු වටා කඳවුරු බැඳ සිටියහ.
6එවිට දාවිත්, හිත්තීය අහිමෙලෙක් ද සෙරූයාගේ පුත්‍ර, යෝවාබ්ගේ සහෝදර අබිෂයි ද අමතමින්, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට බැස යන්නේ කවුරු දැ?” යි ඇසී ය.
“මම ඔබ සමඟ යමි” යි අබිෂයි පිළිතුරු දුන්නේ ය.
7මෙසේ දාවිත් හා අබිෂයි ඒ රැයේ සේනාව වෙත ගියහ. සාවුල් කඳවුර ඇතුළත වැතිරී, නිදා සිටියේ ය. ඔහුගේ හෙල්ලය ඔහුගේ හිස අසලින් බිම ඇන තිබිණ. අබ්නේර් ද සේනාව ද ඔහු වටා වැතිර සිටියහ.
8එවිට අබිෂයි, දාවිත් අමතමින්, “දෙවියන්වහන්සේ අද දවසේ ඔබේ සතුරා ඔබේ අතට හසුකර දී ඇත. ඔහු බිමට ඇමිණෙන සේ, එක් හෙල්ල පහරකින් ඔහුට අනින්නට මට ඉඩ දෙන්න. දෙවරක් මා ඔහුට අනින්නේ නැතැ” යි කීවේ ය.
9එහෙත් දාවිත් අබිෂයි වළකමින්, “ඔහු නසන්න එපා. ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන්ට අත තබා, දෝෂ රහිත ව සිටිය හැක්කේ කවරකුට ද?” 10දාවිත් කතා කරමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේ ම ඔහුට පහර දෙන සේක; ඔහුගේ කාලය පැමිණ, ඔහු මියෙනු ඇත. නැතහොත් ඔහු සටනට ගොස්, විනාශ වනු ඇත. 11එහෙත්, ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන්ට එරෙහිව අත එසවීමෙන් ස්වාමින්වහන්සේ මා වළකන සේක්වා. දැන් ඔහුගේ හිස අද්දර තිබෙන හෙල්ලයත්, වතුර බඳුනත් අරගන්න. අපි මෙතැනින් යමු” යි පැවසී ය.
12මෙසේ දාවිත්, සාවුල්ගේ හිස අද්දර වූ හෙල්ලයත්, වතුර බඳුනත් ගත්තේ ය. ඉන්පසු ඔවුහු නික්ම ගියහ. කිසිවකු ඒ වග දුටුවේවත්, දැන ගත්තේවත් නැත. කිසිවකු ඇහැරුණේ ද නැත. ස්වාමින්වහන්සේ තද නින්දකට ඔවුන් පත් කර තිබූ බැවින්, ඔවුහු නිද්‍රාගත ව සිටියහ.
13ඉන්පසු දාවිත් අනෙක් පැත්තට මාරු වී, හෙල මුදුනේ මදක් ඈතින් සිට ගත්තේ ය. ඔවුන් අතර ලොකු පරතරයක් තිබිණ. 14දාවිත් සේනාවට හා නේර්ගේ පුත් අබ්නේර්ට හඬ ගසමින්, “අබ්නේර්, ඔබ මට උත්තර දෙනවා දැ?” යි ඇසී ය.
අබ්නේර් උත්තර දෙමින්, “රජ්ජුරුවන්ට හඬ ගසන ඔබ කවුරු දැ?” යි ඇසී ය.
15දාවිත් කතා කරමින්, “ඔබ පිරිමියෙක් නො වේ ද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන වෙන කවුරු ද? ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් ආරක්ෂා නො කළේ මන්ද? ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් විනාශ කිරීමට කෙනෙක් ආවේ ය. 16ඔබ කළ මේ දේ හොඳ නැත. ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම ඔබ සුදුසු මරණයටයි. මන්ද, ඔබ ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන් වන ඔබේ ස්වාමියා ආරක්ෂා කළේ නැත. හාත්පස බලන්න. රජ්ජුරුවන්ගේ හිස අසල තිබූ ඔහුගේ හෙල්ලයත්, වතුර භාජනයත් කොහේ දැ?” යි ඇසී ය.
17දාවිත්ගේ කටහඬ සාවුල් හැඳින ගත්තේ ය. “ඒ ඔබේ කටහඬ ද දාවිත් මා පුත!” යි ඔහු විමසී ය.
“එසේය මගේ ස්වාමියා වූ රජතුමනි, ඒ මගේ කටහඬ” යැයි දාවිත් පිළිතුරු දුන්නේ ය. 18දාවිත් තවදුරටත් කතා කරමින්, “මගේ ස්වාමියා තම සේවකයා ලුහුබඳින්නේ කුමක් නිසා ද? මා කුමක් කළාට ද? මා වරදකරුවකු වන්නේ කවර අපරාධයකට ද? 19මගේ ස්වාමියා වන රජු දැන් තම සේවකයාගේ වචනවලට සවන් දෙත්වා! මට එරෙහිව ඔබ පෙලඹ වූයේ ස්වාමින්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නා සේක්වා! එහෙත්, එසේ කළේ මිනිසුන් නම්, ඔවුන් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ශාප ලද්දන් වේවා! මන්ද ස්වාමින්වහන්සේගේ උරුමයේ මගේ පංගු කොටසින්, මා පන්නා දැමූ ඔවුන්, ‘ගොස්, වෙනත් දෙවිවරුන්ට සේවය කරන්නැ’ යි කියා ඇත. 20ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් දුර ස්ථානයක මගේ ලේ බිම හැලෙන්නට ඉඩ නො දුන මැනව. කඳුකරයේ ඇටි කුකුළකු ලුහුබැඳ යන්නකු සේ ඉශ්රායෙල් රජු බලු මැක්කකු සොයා පිටත් ව ඇවිදින්” යැයි පැවසී ය.
21එවිට සාවුල්, “මං පව් කළා; ආපසු එන්න දාවිත් මා පුත; මගේ ජීවිතය වටනේයැයි අද දවසේ ඔබ සැලකූ නිසා, ඔබට හානි කරන්නට මා යළිත් උත්සාහ ගන්නේ නැහැ. ඇත්තෙන් ම මා ක්‍රියා කර ඇත්තේ, මෝඩයකු වගේ බෙහෙවින් වැරදි සහගත ව” යි පැවසී ය.
22දාවිත් පිළිතුරු දෙමින්, “මෙන්න! හෙල්ලය අහෝ රජතුමනි, ඔබේ තරුණයින්ගෙන් කෙනෙක් මෙහි ඇවිත් එය ගෙන යත්වා! 23ස්වාමින්වහන්සේ එක් එක් මිනිසාට ඉටු විපාක දෙන්නේ, ඒ ඒ අයගේ ධර්මිෂ්ඨකම හා විශ්වාසවන්තකම අනුවයි; ස්වාමින්වහන්සේ අද දවසේ මගේ අත්වලට ඔබ හසුකර දුන් නමුත් ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන්ට මා අත තියන්නේ නැහැ. 24ඔන්න! අද දවසේ ඔබේ ජීවිතය මා අගේ කොට සැලකූ පරිදි, ස්වාමින්වහන්සේ මගේ ජීවිතයත් අගේ කොට සලකා, සියලු කරදර-විපත්වලින් මා මුදන සේක්වා” යි කීවේ ය.
25සාවුල් එවිට දාවිත් අමතමින්, “ඔබට ආශිර්වාද ලැබේවා දාවිත් මා පුත. ඔබ මහත් දෑ කොට, නියතයෙන් ම ජයගනු ඇතැ” යි පැවසී ය.
ඉන්පසු දාවිත් යන්නට ගියේ ය. සාවුල් ආපසු ගෙදර ගියේ ය.
Currently Selected:
1 සාමුවෙල් 26: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.