YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 26:1-11

1 සාමුවෙල් 26:1-11 SCV

සීෆීවරු ගිබෙයාහි සාවුල් වෙත පැමිණ, “යෙෂීමොන් ඉදිරිපිට හකීලා හෙලේ දාවිත් සැඟවී සිටිනවා නො වේ දැ?” යි කීහ. එබැවින් සාවුල් නැගිට, තෝරාගත් ඉශ්‍රායෙල් මිනිසුන් තුන්දහසක් ද කැටිව, සීෆ් කාන්තාරයේ දාවිත් සොයන රිසින්, සීෆ් කාන්තාරය බලා ගියේ ය. සාවුල්, යෙෂීමොන්ට මුහුණ ලා හකීලා හෙලේ පාර අද්දර තම කඳවුර ගසා ගත්තේ ය. එහෙත් දාවිත් පාළුකරයේ ම නැවතී සිටියේ ය. සාවුල්, තමා පසු පස පාළුකරයට පැමිණ ඇති වග දුටු දාවිත්, ඔත්තුකරුවන් යවා, සාවුල් නියතයෙන් ම පැමිණ ඇති වග දැනගත්තේ ය. ඉන්පසු දාවිත් පිටත් වී, සාවුල් කඳවුරු බැඳි ස්ථානය බලා ගියේ ය. සාවුල් හා ඔහුගේ හමුදාපති, නේර්ගේ පුත්‍ර අබ්නේර් නිදා සිටි තැන දාවිත් දුටුවේ ය. සාවුල් කඳවුර තුළ නිදා සිටියේ ය. ඔහුගේ සේනාව ඔහු වටා කඳවුරු බැඳ සිටියහ. එවිට දාවිත්, හිත්තීය අහිමෙලෙක් ද සෙරූයාගේ පුත්‍ර, යෝවාබ්ගේ සහෝදර අබිෂයි ද අමතමින්, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට බැස යන්නේ කවුරු දැ?” යි ඇසී ය. “මම ඔබ සමඟ යමි” යි අබිෂයි පිළිතුරු දුන්නේ ය. මෙසේ දාවිත් හා අබිෂයි ඒ රැයේ සේනාව වෙත ගියහ. සාවුල් කඳවුර ඇතුළත වැතිරී, නිදා සිටියේ ය. ඔහුගේ හෙල්ලය ඔහුගේ හිස අසලින් බිම ඇන තිබිණ. අබ්නේර් ද සේනාව ද ඔහු වටා වැතිර සිටියහ. එවිට අබිෂයි, දාවිත් අමතමින්, “දෙවියන්වහන්සේ අද දවසේ ඔබේ සතුරා ඔබේ අතට හසුකර දී ඇත. ඔහු බිමට ඇමිණෙන සේ, එක් හෙල්ල පහරකින් ඔහුට අනින්නට මට ඉඩ දෙන්න. දෙවරක් මා ඔහුට අනින්නේ නැතැ” යි කීවේ ය. එහෙත් දාවිත් අබිෂයි වළකමින්, “ඔහු නසන්න එපා. ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන්ට අත තබා, දෝෂ රහිත ව සිටිය හැක්කේ කවරකුට ද?” දාවිත් කතා කරමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේ ම ඔහුට පහර දෙන සේක; ඔහුගේ කාලය පැමිණ, ඔහු මියෙනු ඇත. නැතහොත් ඔහු සටනට ගොස්, විනාශ වනු ඇත. එහෙත්, ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන්ට එරෙහිව අත එසවීමෙන් ස්වාමින්වහන්සේ මා වළකන සේක්වා. දැන් ඔහුගේ හිස අද්දර තිබෙන හෙල්ලයත්, වතුර බඳුනත් අරගන්න. අපි මෙතැනින් යමු” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 26:1-11