YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 23:14-29

1 සාමුවෙල් 23:14-29 SCV

දාවිත්, පාළුකර බළකොටුවල ද සීෆ් කාන්තාරයේ කඳුවල ද කල් යැවී ය. සාවුල් දවස්පතා ඔහු සෙවී ය. එහෙත් දෙවියන්වහන්සේ ඔහුගේ අතට දාවිත් හසුකර දුන්නේ නැත. දාවිත් සීෆ් කාන්තාරයේ හොර්ෂාහි සිටියදී, ඔහුගේ ජීවිතය නැති කරන්නට සාවුල් පැමිණ ඇති වග ඔහුට දැනගන්නට ලැබිණ. සාවුල්ගේ පුත් යොනාතාන්, හොර්ෂාහි දාවිත් හමුවට ගොස්, දෙවියන්වහන්සේ තුළ දිරි වඩවා ගන්නට ඔහුට උපකාර කළේ ය. ඔහු දාවිත් අමතමින්, “බය වෙන්න එපා. මගේ පියා වන සාවුල්ගේ අතට ඔබ හසු වන්නේ නැහැ. ඔබ ඉශ්‍රායෙල්හි රජ වනු ඇත. මම ඔබට දෙවැනි වන්නෙමි. මගේ පියා සාවුල් ද එය දනී” යි කීවේ ය. ඉන්පසු ඔවුන් දෙදෙනා ස්වාමින්වහන්සේ අබියස ගිවිසුමක් කර ගත්හ. පසුව යොනාතාන් තම නිවසට ගිය අතර, දාවිත් හොර්ෂාහි නැවතුණේ ය. සීෆීවරු ගිබෙයාහි සාවුල් වෙත ගියාහු, ඔහු අමතමින්, “දාවිත් අප අතරේ යෙෂීමොන්ට දකුණින් පිහිටි හකීලා කන්දේ හොර්ෂාහි බළකොටුවල සැඟවී සිටිනවා නො වේ ද? එබැවින් දැන් රජතුමනි, එහි එන්න. ඔබ කැමති කවර විටෙක වුව එන්න. රජතුමාට ඔහු අල්ලාදීම අපේ වැඩකැ” යි කීවාහු ය. සාවුල් පිළිතුරු දෙමින්, “මට දක්වන සැලකිල්ල ගැන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා! ගොසින්, තවදුරටත් සොයා බලන්න. ඔහු යන්නේ කොහේ ද, එහිදී කවුරු ඔහු දුටුවේ ද යන්න සොයා බලන්න. ඔහු උපායෙහි අති දක්ෂයකු වග මට අසන්නට ලැබිණ. ඔහු සැඟවෙන සියලු තැන් ගැන සොයාගන්න. මෙසේ නියත තොරතුරු දැන, මා වෙත එන්න. එවිට මම ඔබ සමඟ යන්නෙමි. ඔහු ඒ පළාතේ සිටී නම්, යූදාගේ දහස් ගණන් අතුරින් මම ඔහු සොයා, අල්ලා ගන්නෙමි” යි පැවසී ය. එබැවින් ඔවුහු පිටත් ව, සාවුල්ට කලින් සීෆ් වෙත ගියහ. මේ අතර දාවිත් හා ඔහුගේ මිනිස්සු යෙෂීමොන්ට දකුණින් පිහිටි අරාබාහි මාවොන් කාන්තාරයේ වූහ. සාවුල් හා ඔහුගේ මිනිස්සු දාවිත් සෙවීම ඇරඹූහ. දාවිත්ට ඒ වග දන්වනු ලැබූ කල, ඔහු පර්වතය වෙත පහළට අවුත්, මාවොන් කාන්තාරයට වී සිටියේ ය. සාවුල් එය ඇසූ කල, දාවිත් ලුහුබඳිමින්, මාවොන් කාන්තාරයට ගියේ ය. සාවුල් කන්දේ එක් පැත්තක් ඔස්සේ යමින් සිටියදී දාවිත් සහ ඔහුගේ මිනිස්සු කන්දේ අනෙක් පැත්තේ වූහ. දාවිත්, සාවුල් වෙතින් වහ වහා ඉවත් වූයේ, දාවිත් හා ඔහුගේ මිනිසුන් අල්ලා ගැනීමට සාවුල් ද ඔහුගේ හමුදාව ද ළං ළං ව එද්දී ය. එකල සාවුල් වෙත පැමිණි පණිවුඩකරුවෙක්, “එන්න! ඉක්මන් කරන්න. පිලිස්තිවරු දේශය ආක්‍රමණ කරති” යි පැවසී ය. එවිට දාවිත් ලුහුබැඳීම අත්හැර දැමූ සාවුල්, පිලිස්තිවරුන්ට එරෙහිව ගියේ ය. එබැවින් එතැනට සෙලා-හම්-මාලෙකෝත් යයි කියනු ලැබේ. දාවිත් එතැනින් නැගී ගොස්, ඒන්-ගෙදී බළකොටුවල විසී ය.