1 සාමුවෙල් 20
20
දාවිත් හා යොනාතාන්
1ඉන්පසු දාවිත්, රාමාහි නායොත් වෙතින් පලා ගොස්, යොනාතාන් හමුවට අවුත්, “කුමක් ද මා කළේ? මොකක් ද මගේ අපරාධය? ඔබේ පියාට මා කුමන වරදක් කළාට ද ඔහු මගේ ජීවිතය නැති කරන්නට සොයන්නේ?” යි ඇසී ය.
2ඔහු ඊට පිළිතුරු දෙමින්, “කොහෙත් ම නැත. ඔබ මියෙන්නේ නැත! බලන්න! මගේ පියා මට නො දන්වා ලොකු හෝ පොඩි හෝ කිසිවක් කරන්නේ නැහැ. මගේ පියා මෙය මගෙන් සඟවන්නේ කුමට ද? එය එසේ නො වේ!” යි කීවේ ය.
3එහෙත් දාවිත් යළි දිවුරා සිටිමින්, “මා ඔබේ කරුණාව දිනා ඇති වග ඔබේ පියා හොඳින් ම දනී. එබැවින් ඔහු තමා තුළ ම සිතනවා ඇත්තේ, ‘යොනාතාන් මෙය දැනගත යුතු නැහැ. දැනගතහොත් ඔහු ශෝක වනු ඇත’ කියායි. කෙසේ වෙතත් ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඔබත් ජීවත් වන වග සැබෑ සේ ම මරණයත්, මාත් අතර ඇත්තේ එක් පියවරක් පමණි” යි කීවේ ය.
4එවිට යොනාතාන්, දාවිත් අමතමින්, “ඔබ කියන කවර දෙයක් වුව ඔබ උදෙසා මා කරනවා” යි කීවේ ය.
5එබැවින් යොනාතාන් ඇමතූ දාවිත්, “ඔන්න! හෙට නව සඳ දවසයි. හෙට නොවරදවා රජතුමා සමඟ මා මේසයට හිඳගත යුතුයි. එහෙත් මට යන්න දෙන්න. අනිද්දා සවස් වන තෙක් බැද්දේ සැඟවී සිටින්නට මට ඉඩ දෙන්න. 6කෙසේ වෙතත්, ඔබේ පියා මා නැති වග දුටුවහොත්, ‘දාවිත් තම උපන් ගම වන බෙත්ලෙහෙම් පුර ගොස් එන්නට උදක් ම මගෙන් අවසර ඉල්ලුවා. ඔවුන්ගේ මුළු පෙළපත සඳහා වාර්ෂික පූජා එහි පැවැත්වෙනවා’ යි ඔහුට කියන්න. 7එවිට ඔහු, ‘බොහොම හොඳයි’ කීවොත්, ඔබගේ සේවක මා සුරක්ෂිතයි. එහෙත් ඔහුට තරහ ගියහොත්, මට නපුරක් කරන්නට ඔහු අදිටන් කර ඇති වග ඔබට නිසැක වෙයි. 8එබැවින් ඔබ, ඔබේ සේවකයාට කරුණාවෙන් සලකන්න. මන්ද ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ හා ගිවිසුමකට ඔබේ සේවකයා කැඳවා ගත්තේ ඔබයි. එහෙත් මා වරදකරුවකු නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියාගේ අත්වලට මා බාර දෙන්නේ ඇයි දැ?” යි පැවසී ය.
9“එසේ නො වේ” යි පිළිතුරු දුන් යොනාතාන්, “ඔබට නපුරක් කරන්නට මගේ පියා අදිටන් කර තිබූ වග යන්තමින්වත් මා දැන සිටියා නම්, මා ඔබට නො කියා සිටිනවා දැ?” යි පැවසී ය.
10එවිට දාවිත්, “ඔබේ පියා ඔබට තදින් පිළිතුරු දුන්නොත් ඒ වග මට දන්වන්නේ කවුරු දැ?” යි යොනාතාන්ගෙන් ඇසී ය.
11එවිට යොනාතාන්, “එන්න; අපි එළිමහනට, බැද්දට යමු” යි කී ය. එබැවින් ඔවුන් දෙදෙන පිටත එළිමහනට ගියහ.
12ඉන්පසු යොනාතාන්, දාවිත් අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන්, අනිද්දා මේ වෙලාවට සැබවින් ම මගේ පියාගේ අදහස මා අසා, දැනගන්නම්; තත්වය ඔබට හිතකර නම් ඔන්න, පණිවුඩ එවා, මා ඔබට එය දැනගන්නට නො සලසා සිටිනවා ද? 13එහෙත්, මගේ පියා ඔබට නපුරක් කරන්නට සෑදී සිටී නම්, ඔබ සුරැකි ව පිටත් කර යැවීමට මා ඔබට ඒ වග හෙළි නො කළහොත් ස්වාමින්වහන්සේ ඊටත් වඩා දැඩි ලෙස යොනාතාන් හා ක්‍රියා කරන සේක්වා. මගේ පියා සමඟ සිටි පරිද්දෙන් ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා! 14එහෙත් මා ජීවත් වන තුරා මා නො මැරෙන ලෙස ස්වාමින්වහන්සේගේ වැනි නොමියෙන පෙම මට දක්වන්න. 15එසේ ම, දාවිත්ගේ හැම සතුරකු ම ස්වාමින්වහන්සේ පොළෝ තලයෙන් සිඳ දමන විටදී පවා, මගේ පවුල වෙතින් ඔබේ කරුණාව සිඳ නො දමන්නැ” යි කීවේ ය.
16මෙසේ යොනාතාන්, දාවිත්ගේ වංශය හා ගිවිසුමක් කරමින්, “දාවිත්ගේ සතුරන්ගෙන් ස්වාමින්වහන්සේ ගණන් දීමක් ඉල්ලන සේක්වා” යි කීවේ ය. 17දාවිත් වෙත වූ ප්‍රේමය නිසා, යොනාතාන්, දාවිත් ලවා තම ගිවිසුම යළි තහවුරු කරවී ය. මන්ද ඔහු තම පණට ප්‍රේම කරන සේ ඔහුට ප්‍රේම කළේ ය.
18ඉන්පසු යොනාතාන්, යළි ඔහු අමතමින්, “හෙට නව සඳ දවසයි. ඔබේ අසුන හිස් ව තිබෙන නිසා ඔබ නැති අඩුව පෙනේවි. 19මේ කරදර පටන් ගනිද්දී ඔබ සැඟවී සිටි තැනට අනිද්දා ගොසින් එසෙල් ගල ළඟ නැවතී ඉන්න. 20මම ඉලක්කයට විදින්නා සේ එහි පැත්තකට හී තුනක් විදින්නෙමි. 21ඉන්පසු මා කොලුවකු යවා, ‘ගොස්, ඊ ගස් සොයා එන්නැ’ යි කියා, යළි ඔහු අමතමින්, ‘අන්න! ඊ ගස් ඔබට මෙහා පැත්තේ’ යි කීවොත් පිටතට එන්න. ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම ඔබ සුරක්ෂිතයි. ඔබට අනතුරක් නැහැ. 22හැබැයි මා කොලුවා අමතා, ‘අන්න, ඊ ගස් ඔබට එහායින්’ ය කීවොත් ඔබ යා යුතු ය. මන්ද ස්වාමින්වහන්සේ ඔබ පිටත් කර හරින සේක. 23මතක තබා ගන්න. ඔබත්, මාත් කතා කර ගත් කරුණ සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේ ඔබත්, මාත් අතරේ සදහට ම සාක්ෂිකරුවාණන් යැ” යි පැවසී ය.
24මෙසේ, දාවිත් බැද්දේ සැඟවුණේ ය. නව සඳ දවස ආ කල රජු, ආහාර පිණිස වාඩි වුණේ ය. 25රජු සිරිත් පරිදි බිත්තිය අසල තම අසුනේ වාඩි විය. යොනාතාන් ඔහුට ඉදිරිපිටින් සිටි අතර, අබ්නේර්, සාවුල් පසෙකින් හිඳ ගත්තේ ය. දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. 26එහෙත් සාවුල් එදින කිසිවක් කීවේ නැත. මන්ද ඔහු සිතුවේ, “ඔහු හදිසියේ අපවිත්‍ර වන්නට ඇති. සැබවින් ම ඔහු අපවිත්‍ර ය” කියා ය. 27එහෙත් දෙවන දවසේත්, නව සඳ දවසට පසුදාත් දාවිත්ගේ අසුන හිස් ව තිබිණ. එවිට සාවුල් තම පුත් යොනාතාන් අමතමින්, “ඊයෙත්, අදත් යෙස්සේගේ පුත්‍රයා කෑමට නාවේ මන්දැ?” යි ඇසී ය.
28යොනාතාන් පිළිතුරු දෙමින්, “බෙත්ලෙහෙමට යන්නට දාවිත් ඉතා ඕනෑකමින් මගෙන් අවසර ඉල්ලුවා. 29ඔහු මා අමතමින්, ‘අපගේ පවුල ඒ නගරයේ පූජාවක් පවත්වන නිසාත්, ඊට සහභාගීවීමට මගේ සහෝදරයා මට නියෝග කර ඇති නිසාත් මට යන්න දෙන්න. ඔබේ ඇස් හමුවේ මට කරුණාව ලැබී ඇත්නම්, මගේ සහෝදරයින් දකින්නට මට යන්න දෙන්නැ’ යි කීවා. රජ්ජුරුවන්ගේ මේසයට ඔහු නාවේ ඒ නිසා” යි පැවසී ය.
30එවිට සාවුල්ගේ කෝපය, යොනාතාන්ට එරෙහිව ඇවුළුණේ ය. ඔහු යොනාතාන් අමතමින්, “හිතුවක්කාර, කැරලිකාර ස්ත්‍රියකගේ පුත්‍රය, නුඹටත් නුඹ වැදූ මවටත් ලජ්ජාව සඳහා යෙස්සේගේ පුත්‍රයා සමඟ නුඹ කාණ්ඩ ගැසී ඇති වග මා දන්නේ නැති ද? 31යෙස්සේගේ පුත්‍රයා මේ මිහි පිට ජීවත් වන තාක් කල් නුඹවත්, නුඹේ රාජ්‍යයවත් ස්ථාපිත වන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා, ඔහු මා ළඟට ගෙනෙන්න. මන්ද ඔහු මරණයට පත් විය යුතු යැ” යි කීවේ ය.
32යොනාතාන් තම පියා වූ සාවුල් අමතමින්, “ඔහු මරනු ලැබිය යුත්තේ ඇයි? ඔහු මොනවද කර ඇත්තේ?” යි ඇසී ය. 33එහෙත් සාවුල් ඔහු මරන පිණිස, තම හෙල්ලයෙන් ඔහුට දමා ගැසී ය. දාවිත් මරා දැමීමට තම පියා අධිෂ්ඨාන කර ඇති වග, එවිට යොනාතාන් දැනගත්තේ ය.
34යොනාතාන් දැඩි කෝපයෙන් යුක්ත ව මේසයෙන් නැගිට්ටේ ය. මාසයේ දෙවන දවසේ ඔහු කිසි අහරක් ගත්තේ නැත. මන්ද ඔහු සිටියේ දාවිත් ගැන ශෝකයෙනි. ඒ, තම පියා ඔහුට නින්දා කළ නිසා ය.
35පසු දා උදෑසන යොනාතාන්, දාවිත් හා නියම කර ගත් පරිදි, පිටත බැද්දට ගියේ ය. ඔහු සමඟ කුඩා කොලුවකු ද විය. 36කොලුවා ඇමතූ ඔහු, “දුවගෙන ගොස්, මා විදින ඊ ගස් සොයාගෙන එන්නැ” යි කීවේ ය. කොලුවා දුවද්දී, යොනාතාන් හීයක් විද්දේ ඔහුගෙන් ඔබ්බට ය. 37යොනාතාන් විසින් විදින ලද හීය වැටුණු තැනට කොලුවා පැමිණි කල, ඔහුට පිටුපසින් හඬ නගා ඔහු ඇමතූ යොනාතාන්, “හීය නුඹට එහායින් නො වේ ද?” යි කීවේ ය. 38යළි කෑ ගසා කතා කළ යොනාතාන්, “හනික! ඉක්මන් කරන්න! නවතින්න එපා!” යි කීවේ ය. හීය අහුලා ගත් කොලුවා තම හාම්පුතා වෙත යළි එය ගෙනාවේ ය. 39කොලුවා කිසි දෙයක් දැන සිටියේ නැත. කාරණය දැන සිටියේ යොනාතාන් හා දාවිත් පමණි. 40ඉන්පසු තම අවි කොලුවාට දුන් යොනාතාන්, “යන්න; මේවා නගරයට ගෙන යන්නැ” යි කීවේ ය.
41කොලුවා නික්ම ගිය පසු, දාවිත් ගලේ දකුණු පසින් නැගිට, යොනාතාන් ඉදිරියෙහි තුන් වරක් තම මුහුණ බිමට නමමින්, වැඳ, ආචාර කළේ ය. ඉන්පසු ඔවුහු දෙදෙනා එකිනෙකා සිප ගනිමින්, එකිනෙකා සමඟ හැඬූහ. වඩාත් හැඬුවේ දාවිත් ය.
42යොනාතාන් දාවිත් අමතමින්, “සාමයෙන් යන්න; මන්ද ‘ස්වාමින්වහන්සේ සදහට ම ඔබ හා මා අතරේත්, ඔබෙන් පැවත එන්නන් හා මගෙන් පැවත එන්නන් අතරේත් සාක්ෂිය’ කියමින් අප දෙදෙනා ස්වාමින්වහන්සේගේ නාමයෙන්, මිත්‍රත්වයක් ශපථ කර ඇති බැවිනි” යි කීවේ ය. ඉන්පසු දාවිත් නැගිට, පිටත් ව ගියේ ය. යොනාතාන් ආපසු නගරයට ගියේ ය.
Currently Selected:
1 සාමුවෙල් 20: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.