YouVersion Logo
Search Icon

1 රාජාවලිය 5

5
දේව මාලිගය තැනීමේ සූදානම
1තීර්හි රජු වූ හීරාම් කවදත් දාවිත් හා මිත්‍රශීලී ව සිටි කෙනෙකි; සාලමොන් තම පියා වූ දාවිත්ගේ ඇවෑමෙන්, රජු හැටියට ආලේප කෙරුණු වග සැල වූ කල, ඔහු තම රාජ දූතයින් සාලමොන් වෙත එවී ය. 2සාලමොන්, එවිට හීරාම් වෙත මේ පණිවුඩය යැවී ය:
3“මගේ පියා වූ දාවිත්ට එරෙහිව හැම පැත්තෙන් ම යුද්ධය ඇවිළුණු නිසා ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් තනන්නට ඔහුට නො හැකි වූ වග ඔබ දනී. ස්වාමින්වහන්සේ විසින් ඔහුගේ සතුරන් ඔහුගේ පාදවලට යටත් කර දෙන තෙක්, තත්වය එසේ විණි. 4එහෙත් දැන් මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබෙන බැවින්, දැන් කිසි එදිරිවාදියකු නැත; විපත්තියකුදු නැත. 5එබැවින් මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයට ගෘහයක් තනන්නට මම අදහස් කර සිටින්නේ, ස්වාමින්වහන්සේ මා පිය දාවිත්ට කතා කර, ‘ඔබේ සිංහාසනයේ ඔබේ තැන මා හිඳුවන ඔබේ පුත්‍රයා, මගේ නාමයට ගෘහයක් ඉදිකරනු ඇතැ’ යි කී කීම අනුව ය.
6“එබැවින් ලෙබනොන් දේවදාර ගස් මට කපා දෙන්නට නියෝග කරන්න. මගේ මිනිසුන් ඔබේ මිනිසුන් සමඟ වැඩ කරනු ඇත. ඔබේ වැඩකරුවන් සඳහා ඔබ නියම කරන කවර කුලියක් වුව මම ඔබට ගෙවන්නෙමි; සීදොන්වරුන් මෙන් ලී කපන්නට දක්ෂයින් අපට නැති වග ඔබ දනී” යැයි කියා යැවී ය.
7හීරාම්, සාලමොන්ගේ පණිවුඩය ඇසූ කල, ඔහු මහත් ප්‍රීතියට පත් ව, “ඒ ශ්‍රේෂ්ඨ ජාතිය පාලන කරන්නට ප්‍රඥාවත් පුතකු දාවිත්ට දුන් ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා!” යි පැවසී ය.
8එබැවින් හීරාම්, සාලමොන්ට පණිවුඩ යවමින්,
“ඔබ එවූ පණිවුඩය මට ලැබිණි. ඔබට වුවමනා කරන දේවදාර හා සයිප්‍රස් දැව කඳන් සියල්ල මම ඔබට එවන්නෙමි. 9මගේ මිනිස්සු ලෙබනොනයේ සිට ඒවා මුහුදට ඇද දමනු ඇත. ඒවා පහුරු බැඳ, ඔබ නියම කරන තැනකට මුහුදේ පාකොට එවන්නෙමි. මා එහිදී පහුරු ලිහූ කල ඔබට ඒවා ගෙන යා හැක. මගේ ගෘහ වාසීන්ට ආහාර සැපයීමෙන් ඔබ මගේ කැමැත්ත ඉටු කරනු ඇතැ” යි දැන්වී ය.
10එසේ හීරාම්, සාලමොන්ට වුවමනා දේවදාර හා සයිප්‍රස් දැව කඳන් සියල්ල සැපයී ය. 11සාලමොන්, හීරාම්ගේ ගෘහ වාසීන්ට ආහාර පිණිස, තිරිඟු කෝර විසිදහසක්#5:11 එනම් මෙට්‍රික් ටොන් 3,250ක් පමණ හා පිරිසිදු ඔලීව තෙල් බාත් විසිදහසක්#5:11 එනම් ලීටර් 440,000ක් පමණ දුන්නේ ය. සාලමොන් අවුරුදු පතා දිගට ම එසේ හීරාම්ට දුන්නේ ය. 12ස්වාමින්වහන්සේ, සාලමොන්ට පොරොන්දු වී තිබූ පරිදි, ඔහුට ප්‍රඥාව දුන් සේක. හීරාම් හා සාලමොන් අතර සාමකාමී සබඳතාවක් පැවතිණි. ඔවුහු දෙදෙනා එක් ව ගිවිසුමක් ඇතිකර ගත්හ.
13සාලමොන් රජු මුළු ඉශ්‍රායෙල් ජනතාව අතරෙන් බර වැඩ රාජකාරී සඳහා මිනිසුන් බඳවා ගත්තේ ය. එසේ බඳවා ගත් ගණන තිස් දහසකි. 14ඔහු එක් මාසයක සේවා මුරයකට ඔවුන්ගෙන් දසදහස බැගින් ලෙබනොන් වෙත යැවී ය. මෙසේ ඔවුහු එක් මාසයක් ලෙබනොන්හි ද දෙමාසයක් තමන්ගේ නිවෙස්හි ද ගත කළහ. එම රාජකාරී සේවය බාර ව සිටියේ අදොනීරාම් ය. 15සාලමොන්ට කඳුකරයේ බර උසුලන්නන් හැත්තෑදහසක් ද කඳුවල ගල් කැපුම්කරුවන් අසූදහසක් ද වූහ. 16ඒ හැර එම යෝජනා ක්‍රම අධීක්ෂණය කරමින්, වැඩකරුවන්ට උපදෙස් දුන් වැඩ අධිකාරීන් තුන්දහස් තුන්සිය#5:16 හෙබ්‍රෙව් පිටපත් අනුව ය. සමහර ග්‍රීක පිටපත්වල තුන්දහස් හයසීය ලෙස ඇත 2 ලේක 2:2,18 ද බලන්න දෙනෙක් ද ඔහුට වූහ. 17නෙළුෑ ගලින් ගෘහයේ අත්තිවාරම දමන පිණිස, රජුගේ අණ පිට ඔවුහු ගල් වළෙන් විශාල, අනර්ඝ ගණයේ ගල් කපා ගත්හ. 18සාලමොන්ගේ හා හීරාම්ගේ ගොඩනැගිලිකරුවෝ ද ගෙබල්වරු ද ගෘහය ගොඩනැගීම සඳහා දැව හා ගල් කපා සූදානම් කළහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in