YouVersion Logo
Search Icon

1 රාජාවලිය 4

4
සාලමොන්ගේ නිලධාරීහු
1මෙසේ සාලමොන් රජු මුළු ඉශ්‍රායෙලය ම පාලනය කළේ ය.
2ඔහුගේ ප්‍රධාන නිලධාරීහු මොවුහු ය:
සාදෝක්ගේ පුත් අසරියා පූජකයා ය;
3ෂීෂාගේ පුතුන් වූ එලිහොරෙෆ් හා අහියා ලේකම්වරු ය;
අහිලූද්ගේ පුත් යෙහෝෂාෆාට් වාර්තාකරු ය.
4යෙහෝයාදාගේ පුත් බෙනායා හමුදාපති ය;
සාදෝක් හා අබියාතර් පූජකවරු ය.
5නාතාන්ගේ පුත් අසරියා, පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බාරකරු ය;
නාතාන්ගේ පුත් සාබූද්, පූජකයා හා රජුගේ පෞද්ගලික උපදේශකයා ය;
6අහිෂාර්, රජ මැදුර බාරකරු ය;
අබ්දාගේ පුත් අදොනීරාම්, බර වැඩ රාජකාරී බාරකරු ය.
7රජුටත්, රජුගේ ගෘහවාසී සියල්ලන්ටත් ආහාර පාන සැපයූ පළාත් ආණ්ඩුකාරවරුන් දොළොස් දෙනකු මුළු ඉශ්‍රායෙල් පුරා සාලමොන්ට සිටියහ. ඔවුන් හැම කෙනකු වසරකට එක් මාසයක් බැගින් ආහාර පාන සැපයිය යුතු ව තිබිණි.
8ඔවුන්ගේ නම් මෙසේ ය:
එප්‍රායිම් කඳු රටේ බෙන්-හූර්;
9මාකස්, ෂාල්බීම්, බෙත්-ෂෙමෙෂ් හා ඒලොන්-බෙත්-හානාන් යන පළාතෙහි බෙන්-දෙකෙර්;
10අරුබ්බෝත්හි බෙන්-හෙසෙද්; සෝකෝ හා මුළු හේෆෙර් දේශය ඔහු සතු ව තිබිණි;
11නාෆොත්-දෝර්හි බෙන්-අබිනාදාබ්. ඔහු සාලමොන්ගේ දියණිය වූ ටාෆත් ආවාහ කර ගෙන සිටියේ ය;
12තානක් හා මෙගිද්දෝ සහ බෙත්-ෂාන් පළාත එනම් සාරෙතාන් සමීපයේ යෙස්රෙයෙල්ට පහළින් බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද යොක්මෙයාම් දක්වා ද වූ පළාතෙහි අහිලූද්ගේ පුත් බානා;
13රාමොත්-ගිලියාද්හි බෙන්-ගෙබෙර්; ගිලියාද්හි සිටි මනස්සේගේ පුත් යායීර්ගේ වාස භූමි ද පවුරු හා ලෝකඩ අගුල් සහිත දොරටු ඇති විශාල නගර හැටකින් යුත් බාෂාන්හි අර්ගොබ් පළාත ද ඔහු සතු ව තිබිණි;
14මහනයිම්හි ඉද්දෝගේ පුත් අහිනාදාබ්;
15නෆ්තලීහි අහිමායස්; ඔහු සාලමොන්ගේ දියණිය වූ බසෙමත් ආවාහ කර ගෙන සිටියේ ය;
16ආෂෙර්හි හා ආලොත්හි හූෂයිගේ පුත් බානා;
17ඉස්සාකර්හි පාරූවාගේ පුත් යෙහෝෂාෆාට්;
18බෙන්යමින්හි ඒලාගේ පුත් ෂිමෙයි;
19ගිලියාද්හි උරීගේ පුත් ගෙබෙර්; ගිලියාද් අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ දේශය හා බාෂාන්හි ඕග්ගේ දේශයයි; එම පළාතට පත් ව සිටි එක ම ආණ්ඩුකාරවරයා වූයේ ඔහු ය.
සාලමොන්ගේ දෛනික ආහාර පාන වට්ටෝරුව
20යූදා හා ඉශ්‍රායෙල් ජනයා මූදු වෙරළේ වැලි මෙන් ගණනින් අධික ව සිටියහ. ඔවුහු කමින්, බොමින්, ප්‍රීති වෙමින් විසූහ. 21සාලමොන් ගංගාවේ#4:21 ගංගාවේ එනම් යුප්‍රටීස් 24 වන පදයේ ද එසේ ම ය. සිට පිලිස්තිවරුන්ගේ දේශය සහ ඊජිප්තු දේශ සීමාව දක්වා සියලු රාජධානි පාලන කළේ ය. එම රටවලින් කප්පම් ගෙනෙනු ලැබූ අතර, ඔවුහු සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට යටත් ව සිටියහ.
22සාලමොන්ගේ දෛනික ආහාර පාන වට්ටෝරුව මෙසේ ය: සිහින් පිටි කෝර තිහයි#4:22 මෙට්‍රික් ටොන් 5ක් පමණ.; ධාන්‍ය පිටි කෝර#4:22 මෙට්‍රික් ටොන් 10ක් පමණ. හැටයි. 23තර කළ ගවයින් දහදෙනයි. තණ බිම්වලින් කන ගවයින් විසි දෙනයි. එළුවන් හා බැටළුවන් සිය දෙනයි. ඒ සමඟ මුවන්, කුරඟ මුවන්, රෝ මුවන් හා තෝරාගත් පක්ෂීන් ය. 24ඔහු ගංගාවට බටහිර දෙසින්, තිෆ්සා සිට ගාසා දක්වා වන පළාතේ සියලු රජවරුන් පාලනය කළේ ය. හැම අතින් ම සාමය පැවතිණි. 25සාලමොන්ගේ ජීවිත කාලය තුළදී දාන් පටන් බෙයර්ෂෙබා දක්වා යූදාවරු හා ඉශ්‍රායෙල්වරු සුරක්ෂිත ව වාසය කළහ. හැම කෙනෙක් ම තම තමාගේ මිදි වැල හා අත්තික්කා ගහ යට වාසය කළහ.
26රථ-අශ්වයින් සඳහා ගාල් හාරදහසක්#4:26 සමහර සෙප්ටුවජින්ට් පිටපත්වල අනුව ය. 2 ලේක 9;25 ද බලන්න; හෙබ්‍රෙව් හතළිස් දහසක් ද අසරුවන් දොළොස් දහසක් ද සාලමොන් සතු විණි.
27පළාත් ආණ්ඩුකාරවරුන් හැම කෙනෙක් ම තමාට නියමිත මාසයේදී සාලමොන් රජුටත්, රජුගේ මේසයට පැමිණි සියල්ලන්ටත් ආහාර පාන සපයා දුන්හ. ඉන් කිසිවක් අඩු නො වන්නට ඔවුහු වග බලා ගත්හ. 28ඔවුහු රථ-අශ්වයින් හා අනෙක් අශ්වයින් සඳහා නියමිත යව හා පිදුරු ඒ ඒ ස්ථානවලට සැපයූහ.
සාලමොන්ගේ ප්‍රඥාව
29දෙවියන්වහන්සේ සාලමොන්ට ප්‍රඥාවත්, තීක්ෂණ බුද්ධියත්, මූදු වෙරළේ ඇති මූදුවැල්ල මෙන් මැනිය නො හැකි පෘථුල බුද්ධියකුත් දුන් සේක. 30සාලමොන්ගේ ප්‍රඥාව, පෙරදිග රටවල මිනිසුන් හැමගේ හා ඊජිප්තුවේ සිටි මිනිසුන් හැමගේ ප්‍රඥාවට වඩා උත්කෘෂ්ට විය. 31ඔහු අන් කවර මිනිසකුටවත් වඩා ප්‍රඥාවත් විය. එස්රාහීය ඒතාන්ට ද මාහෝල්ගේ පුතුන් වූ හේමාන්, කල්කොල් හා දර්දාට ද වඩා ප්‍රඥාවත් විය. ඔහුගේ කීර්තිය අවට සිටි සියලු ජාතීන් කරා පැතිර ගියේ ය. 32ඔහු හිතෝපදේශ තුන්දහසක් පැවසී ය. ඔහුගේ ගීතිකා ගණන එක්දහස් පහකි. 33ඔහු ලෙබනොන්හි දේවදාර ගස පටන් බිත්තියේ හට ගන්න හිසොප් දක්වා වෘක්ෂලතා පිළිබඳව විස්තර කළේ ය; ඔහු මෘගයින් හා පක්ෂීන් ද උරගයින් හා මත්ස්‍යයින් ද පිළිබඳව ඉගැන්වී ය. 34ඔහුගේ ප්‍රඥාව ගැන අසා තිබූ ලොව සියලු රජවරුන් විසින් එවන ලද හැම ජාතියට ම අයත් මිනිස්සු සාලමොන් රජුගේ ප්‍රඥාව අසන පිණිස පැමිණියහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in