1 රාජාවලිය 20
20
බෙන්-හදද්ගේ පහරදීම්
1අරාම්හි රජ වූ බෙන්-හදද් තම මුළු හමුදාව එක් රැස් කර, රජවරුන් තිස් දෙදෙනකු ඇතුළු ඔවුන්ගේ අශ්වයින් හා යුධ රථ කැටුව ගොස්, සමාරිය වටලා ඊට පහර දුන්නේ ය. 2ඉශ්‍රායෙල්හි රජ වන ආහාබ් වෙත පණිවුඩකරුවන් පුරවරයට යැවූ ඔහු, “බෙන්-හදද් මෙසේ පවසයි: 3‘ඔබේ රිදී හා රත්තරන් මගේ; ඔබේ හොඳ ම භාර්යාවන් හා දරුවන් මගේ’ යි කියා” යැවී ය.
4ඉශ්‍රායෙල් රජු, “මා ස්වාමි රජතුමනි, ඔබ පැවසූ පරිදි මාත්, මා සතු සියල්ලත් ඔබේ යැ” යි පිළිතුරු යැවී ය.
5පණිවුඩකරුවෝ යළි අවුත්, “බෙන්-හදද් මෙසේ කියයි: ‘ඔබේ රිදී හා රත්රන් ද ඔබේ භාර්යාවන් හා ඔබේ දරුවන් ද ඉල්ලා එවීමි. 6එහෙත් හෙට මේ වෙලාවට ඔබේ මන්දිරයත්, ඔබේ නිලධාරීන්ගේ ගෙවලුත් සෝදිසි කරන්නට මම මගේ නිලධාරීන් එවන්නෙමි. ඔවුන් ඔබ ආශා කරන සියල්ල අත්කර ගෙන, ඒවා ගෙන යනු ඇතැ’ යි” කීහ.
7ඉශ්‍රායෙල් රජු, දේශයේ සියලු වැඩිහිටියන් කැඳවා, ඔවුන් අමතමින්, “බලන්න මේ මිනිහා කරදර කරන්නට මාන බලන හැටි. ඔහු මගේ භාර්යාවන් හා මගේ දරුවන් ද මගේ රිදී හා රත්තරන් ද ඉල්ලා එවූ කල මා එය ප්‍රතික්ෂේප කළේ නැතැ” යි කීවේ ය.
8වැඩිහිටියන් හා මුළු ජනතාව පිළිතුරු දෙමින්, “ඔහුට සවන් දෙන්න එපා; ඔහුගේ ඉල්ලීම්වලට එකඟ වන්න එපා” යි පැවසූහ.
9එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවුඩකරුවන්ට පිළිතුරු දෙමින්, “මගේ ස්වාමි රජ්ජුරුවන්ට මෙසේ කියන්න: ‘පළමු වතාවේ ඔබ ඉල්ලූ සියල්ල, ඔබේ සේවක මම ඉටු කරන්නෙමි. එහෙත් මේ ඉල්ලීම නම්, ඉටු කරන්නට නො හැකි යැ’ යි” කියා යැවී ය. ඔවුහු එම පිළිතුර රැගෙන බෙන්-හදද් වෙත ආපසු ගියහ.
10එවිට බෙන්-හදද්, “මා සමඟ එන මගේ මිනිසුන් එකිනෙකාට මිටක් බැගින් වත් ගන්නට සමාරියේ දූවිලි ප්‍රමාණවත් වෙතොත් දෙවිවරු මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා!” යි ආහාබ් වෙත පණිවුඩ එවී ය.
11ඉශ්‍රායෙල් රජු පිළිතුරු දෙමින්, “ ‘තමාගේ ආයුධ පැළඳගන්නා, තමාගේ ආයුධ ගලවන්නා මෙන් පාරට්ටු කර නො ගනීවා’ කියා ඔහුට කියන්නැ” යි කියා යැවී ය.
12රජවරුන් සමඟ කූඩාරම්වල බොමින් සිටියදී එම පණිවුඩය ඇසූ බෙන්-හදද්, “සටනට පෙළ ගැසෙනු!” යි තම මිනිසුන්ට නියෝග කළේ ය. එබැවින් ඔවුහු පුරවරයට පහර දෙන පිණිස සූදානම් වූහ.
බෙන්-හදද් පැරදවීම
13මේ අතර දිවැසිවරයෙක් ඉශ්‍රායෙල් රජු, ආහාබ් වෙත අවුත්, “ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘මේ මහ හමුදාව ඔබ දුටුවා ද? අද මම ඔබේ අතට ඔවුන් හසුකර දෙමි. මා ස්වාමින්වහන්සේ වග එවිට ඔබ දැනගනු ඇතැ’ යි දැන්වී ය.
14“එහෙත් එය කරන්නේ කවුරුන් දැ?” යි ආහාබ් ඇසී ය.
එවිට දිවැසිවරයා, “ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘එය කරන්නේ ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීන් යැ’ යි පැවසී ය.
“සටන අරඹන්නේ කවුරු දැ?” යි ඔහු ඇසී ය.
දිවැසිවරයා ඊට, “ඔබ” යැයි පැවසී ය.
15එබැවින් ආහාබ් ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීන් දෙසිය තිස්දෙදෙනා රැස් කරවී ය. ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් ඉතිරි සියලු මිනිසුන් හත්දහස ද එක් රැස් කරවී ය. 16ඔවුහු පිටත් ව, ගියේ මද්දහනේ තම මිත්‍ර රජුන් තිස්දෙදෙනා සමඟ බෙන්-හදද් ඔවුන්ගේ කූඩාරම්වල බීමත්වෙමින් සිටින අතරේ ය. 17මුලින් ම පිටත් වූයේ, ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීන් ය.
තවද බෙන්-හදද් විසින් යවන ලද චර පුරුෂයෝ, “මිනිසුන් සමාරියේ සිට ඉදිරියට එති” යි ඔහුට දැන්වූහ.
18එවිට ඔහු, “ඔවුන් ඇවිදින් ඇත්තේ සමාදානයට නම්, ඔවුන් පණ පිටින් අල්ලා ගනු. ඔවුන් යුද්ධයට ආවා නම්, පණ පිටින් අල්ලා ගනු” යි පැවසී ය.
19ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීහු හමුදාව තමන් පසු පස ඇති ව පුරවරයෙන් පිටතට ගමන් කළහ. 20ඒ එකිනෙකා තම ප්‍රතිවාදියා ගසා හෙළී ය. ඒ අවස්ථාවේ අරාමිවරුන් පලා ගිය අතර, ඉශ්‍රායෙල්වරු ඔවුන් ලුහුබැන්දහ. එහෙත් අරාම්හි රජු වූ බෙන්-හදද් තම අසරුවන් කීප දෙනකු සමඟ අසු පිට නැගී, බේරී පලා ගියේ ය. 21ඉශ්‍රායෙල් රජු පෙරට යමින්, අශ්වයින්ට ද රථවලට ද පහර දී, මහත් ඝාතනයකින් අරාම්වරුන් පරාජය කළේ ය.
22ඉන්පසු දිවැසිවරයා ඉශ්‍රායෙල් රජු වෙත අවුත්, කතා කොට, “ඊළඟ වසන්ත සමයේ අරාම්හි රජු ඔබට විරුද්ධ ව එනු ඇත. එබැවින් ඔබ ම ශක්තිමත් කර ගෙන, කළ යුත්තේ කුමක් දැයි කල්පනාවට ගන්නැ” යි පැවසී ය.
23මේ අතර අරාම්හි රජුගේ නිලධාරීහු ඔහුට උපදෙස් දෙමින්, “ඔවුන්ගේ දෙවිවරු කඳුවල දෙවිවරුයි. එනිසයි ඔවුන් අපට වඩා බලවත් වූයේ; එහෙත් තැනිතලාවේදී අප සටන් කළහොත්, සත්තකින් ම ඔවුන්ට වඩා අප බලවත් වේවි; 24මෙසේ කරන්න: රජුන් හැම දෙනා අණ දීමේ තනතුරෙන් ඉවත් කර, ඊට වෙනත් නිලධාරීන් පත් කරන්න. 25තවද ඔබට අහිමි වූ හමුදාව මෙන් හමුදාවක් ද අසකුට අසකු ද රථයකට රථයක් ද වශයෙන් සූදානම් කර ගන්න. එවිට තැනිතලාවේදී අපට ඉශ්‍රායෙල් හා සටන් කළ හැකියි. සත්තකින් ම එවිට අප ඔවුන්ට වඩා බලවත් වනු ඇතැ” යි පැවසූහ. ඔහු ඔවුන් හා එකඟ වී, ඒ අනුව කටයුතු කළේ ය.
26ඊළඟ වසන්තයේදී බෙන්-හදද් අරාම්වරුන් රැස් කර, ඉශ්‍රායෙල්ට එරෙහි සටනට අෆේක් වෙත ගියේ ය. 27ඉශ්‍රායෙල්වරු ද එක් රැස් කරනු ලැබ, ආහාර පාන සපයනු ලැබ, ඔවුන්ට විරුද්ධ ව ගියහ. අරාම්වරුන්ගෙන් දේශය වැසී තිබියදී ඉශ්‍රායෙල්වරුන් ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියේ කුඩා එළු රංචු දෙකක් මෙනි.
28දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා අවුත්, ඉශ්‍රායෙල්හි රජු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ස්වාමින්වහන්සේ කඳුවල දෙවි කෙනකු මිස, මිටියාවත්වල දෙවි කෙනකු නො වේය කියා අරාම්වරුන් සිතන බැවින්, මම මේ විශාල හමුදාව ඔබේ අත්වලට හසුකර දෙන්නෙමි. මා ස්වාමින්වහන්සේ වග එවිට ඔබ දැනගන්නවා ඇතැ’ යි” පැවසී ය.
29ඔවුන් එකිනෙකාට එරෙහිව හත් දවසක් කඳවුරු බැඳ සිටි පසු, හත් වන දවසේ යුද්ධය ඇරඹිණි. ඉශ්‍රායෙල්වරු දවසක් ඇතුළත අරාම් පාබළ භටයින් එක්ලක්ෂයක් ගසා හෙළූහ. 30බේරී, අෆේක් පුරයට පලා ගිය ඉතිරි වූවන්ගෙන් විසිහත්දහසක් යට කර පවුර කඩා වැටිණි. පුරවරයට පලා ගිය බෙන්-හදද්, ඇතුළු කුටියක සැඟවුණේ ය.
31එවිට ඔහුගේ නිලධාරීහු ඔහුට කතා කොට, “බලන්න, ඉශ්‍රායෙල් වංශික රජවරු දයාවන්ත වග අප අසා තිබේ. එබැවින් අපි ගෝණි රෙදි ඉඟ දවටා, හිස් වටා ලණු ඔතා ඉශ්‍රායෙල් රජු වෙත යමු. ඇතැම් විට ඔහු ඔබට ජීවිත දානය දෙනු ඇතැ” යි කීහ.
32එබැවින් ගෝණි රෙදි තම ඉඟ දවටා, තම හිස් වටා ලණු ඔතා ගත් ඔවුහු ඉශ්‍රායෙල් රජු වෙත ගොස්, “ඔබගේ සේවක බෙන්-හදද් ‘මට ජීවිත දානය දෙන්න’ කියා ඉල්ලා සිටිනවා” යි කීහ.
එවිට රජු, “ඔහු තවම ජීවත් ව සිටිනවා ද? ඔහු මගේ සහෝදරයා යැ” යි පැවසී ය.
33එය සුබ ලකුණක් ලෙස ගත් ඒ මිනිස්සු, ඔහුගේ වචනය අල්ලා ගන්නට යුහුසුලු වී, “ඔව්, ඔබගේ සහෝදර බෙන්-හදද්!” යැයි පැවසූහ.
“යන්න, ඔහු කැඳවාගෙන එන්නැ” යි රජු පැවසී ය. බෙන්-හදද් පිටතට ආ කල ආහාබ් තම රථයට ඔහු නංවා ගත්තේ ය.
34බෙන්-හදද් ඔහු අමතමින්, “මගේ පියා ඔබේ පියාගෙන් ගත් පුරවර, මම යළි ඔබට දෙන්නෙමි. මගේ පියා සමාරියේදී කළ පරිද්දෙන් ඔබට ද දමස්කයේ වෙළඳ කලාප පිහිටුවිය හැකි යැ” යි පැවසී ය.
ආහාබ් පිළිතුරු දෙමින්, “මේ ගිවිසුම් පදනම මත මම ඔබ නිදහස් කර හරින්නෙමි” යි පැවසී ය. එබැවින් ඔහු බෙන්-හදද් සමඟ ගිවිසුමක් කර, ඔහු යන්නට හැරියේ ය.
දිවැසිවරයෙක් ආහාබ්ට වරද තබයි
35දිවැසිවර කණ්ඩායමෙන් කෙනෙක් ස්වාමින්වහන්සේගේ වචනයට අනුව තම මිතුරා අමතමින්, “ඔබගේ ආයුධයෙන් මට පහර දෙන්නැ” යි කී ය. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය.
36එවිට දිවැසිවරයා, “ඔබ ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු නො වූ බැවින්, ඔබ මා හැර යන කල, සිංහයෙක් ඔබ මරා දමනු ඇතැ” යි කී ය. ඒ මිනිසා පිටත් ව යන කල, ඔහුට සිංහයකු හමු වී, ඌ ඔහු මරා දැමී ය.
37දිවැසිවරයාට තවත් මිනිසකු මුණ ගැසී, “මට පහර දෙන්නැ” යි කී ය. එවිට ඒ මිනිසා ඔහුට පහර දී, ඔහුට තුවාල කළේ ය. 38ඉන්පසු දිවැසිවරයා පිටත් ව ගොස්, පාර අයිනේ සිටගෙන, රජු එන තෙක් බලා සිටියේ ය. ඔහු වෙළුම් පටියක් ඇසට උඩින් දවටා, වෙස් වළා සිටියේ ය. 39රජු ඒ අසලින් යන කල දිවැසිවරයා ඔහු අමතමින්, “ඔබේ මෙහෙකරු සිටියේ සටන් බිම මැද ය; එවිට මිනිහෙක් වහලකු කැටුව මා වෙත අවුත්, ‘මේ මිනිසා බලා ගන්න. යම් හෙයකින් ඔහු නැති වුණොත් ඔහුගේ ජීවිතය වෙනුවට, ඔබේ ජීවිතය අය කරනු ලබන්නේ ය. නැතහොත් රිදී තලෙන්තයක් ඔබ විසින් ගෙවිය යුතු යැ’ යි කීවා. 40ඔබේ මෙහෙකරු අතනත්, මෙතැනත් වැඩෙහි නිරත ව සිටියදී ඒ මිනිහා අතුරුදහන් වෙලා” යි පැවසී ය.
එවිට ඉශ්‍රායෙල්හි රජු, “එය ඔබේ තීන්දුවයි. එය ප්‍රකාශ කළේ ඔබ ම යැ” යි පැවසී ය.
41එවිට දිවැසිවරයා සැණෙක තම ඇස්වලින් වෙළුම් පටිය ඉවත් කළේ ය. ඔහු දිවැසිවරුන්ගෙන් කෙනකු වග එවිට ඉශ්‍රායෙල් රජු හැඳින්නේ ය. 42ඔහු රජු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මරණයට කැපයැයි මා තීන්දු කළ තැනැත්තා ඔබ මුදා හැර තිබේ. එබැවින් ඔහුගේ ජීවිතය වෙනුවට ඔබගේ ජීවිතය ද ඔහුගේ ජනයා වෙනුවට ඔබගේ ජනයා ද දිය යුතු යැ’ යි” පැවසී ය. 43ඉශ්‍රායෙල්හි රජු මුහුණ එල්ලාගෙන කෝපයෙන් යුතු ව තම මන්දිරය වෙත සමාරියට ගියේ ය.
Currently Selected:
1 රාජාවලිය 20: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.