YouVersion Logo
Search Icon

1 රාජාවලිය 18

18
එලියා හා ඔබදියා
1බොහෝ දවසකට පසු, ස්වාමින්වහන්සේගේ වචනය තුන් වන අවුරුද්දේ එලියා වෙත පැමිණියේ, “යන්න, ආහාබ් ඉදිරියේ පෙනී සිටින්න. මම දේශයට වැස්ස එවන්නෙමි” යි කියමිණ. 2එබැවින් එලියා, ආහාබ් හමුවට ගියේ ය.
තවද සමාරියේ සාගතය බලවත් ව පැවතිණි. 3ආහාබ් තම මන්දිරය බාර ඔබදියා කැඳවී ය. (ඔබදියා, ස්වාමින්වහන්සේට මහත් සේ භය පක්ෂපාතී ව සිටි කෙනෙකි. 4යෙසෙබෙල් ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන් ඝාතන කරද්දී, ඔබදියා දිවැසිවරුන් සිය දෙනකු, පනහ බැගින් ගුහා දෙකක සඟවා, ඔවුන්ට කෑමත්, වතුරත් සැපයී ය.) 5ඔබදියා ඇමතූ ආහාබ්, “දේශය පුරා ඇති සියලු දිය උල්පත් හා මිටියාවත් වෙත යන්න. අපගේ අශ්වයින් හා කොටළුවන් රැක ගන්නට තෘණ ටිකක් සොයාගන්න සමහර විට අපට හැකි වේවි; එවිට අපේ සතුන් අහිමි වෙන්නේ නැතැ” යි පැවසී ය. 6එබැවින් ඔවුහු දේශය පුරා යන්නට කොටසක් වෙන් කර ගත්හ; ආහාබ් එක් දිසාවකට ද ඔබදියා වෙනත් දිසාවකට ද ගියේ ය.
7ඔබදියා මෙසේ ගමන් ගනිද්දී, ඔහුට එලියා මුණගැසුණේ ය. ඔබදියා ඔහු හැඳින, බිමට නැමී, “ඇත්තට ම මේ ඔබ ද එලියා මා ස්වාමිනි?” යි ඇසී ය.
8ඔහු පිළිතුරු දෙමින්, “ඔව් මා තමයි; ගොසින්, ‘එලියා මෙහි සිටී’ ය කියා ඔබේ ස්වාමියාට කියන්නැ” යි පැවසී ය.
9එවිට ඔබදියා, “මා මොන වරදක් කළාට ද ඔබගේ දාසයා වන මා මරා දමන පිණිස ආහාබ් අතට මා පාවා දෙන්නට යන්නේ? 10ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මගේ හාම්පුතා ඔබ සොයන්නට නො යැවූ ජාතියක්වත්, රාජ්‍යයක්වත් නැත. ඔබ නැති වග යම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ පැවසූ විට, ඔවුන්ට ඔබ සම්බ නො වූ වගට ඔහු ඔවුන්ගෙන් දිවුරුම් පවා ගත්තේ ය. 11එහෙත් දැන්, ඔබ මට කියන්නේ, ‘එලියා මෙහි සිටී’ කියා ගොස්, මගේ හාම්පුතාට කියන්න කියායි. 12මා ඔබෙන් ඉවත් ව ගිය විගස, ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් කොතැනකට ඔබ ගෙන යනවාදැයි මා දන්නේ නෑ. මා ගොස්, ආහාබ්ට කී පසු, ඔහුට ඔබ සම්බ නො වුණහොත්, ඔහු මා මරනු ඇත. එහෙත් ඔබගේ සේවක මා, මගේ බාල වියේ පටන් ස්වාමින්වහන්සේට භය ඇතුව සිටි කෙනෙක්; 13මා ස්වාමිනි, යෙසෙබෙල් ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන් මරා දමද්දී, මා කළ දේ ඔබ අසා නැද්ද? මා ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන් සිය දෙනකු පනහ බැගින් ගුහා දෙකක සඟවා, ඔවුන්ට ආහාරත්, වතුරත් සපයා දුන් වග. 14දැන් ඔබ මට කියන්නේ, ‘මෙන්න, එලියා මෙහි සිටීය’ කියා මගේ ස්වාමියාට ගොස් කියන්න කියායි; ඔහු මා මරා දමනු ඇතැ” යි කී ය.
15එලියා පිළිතුරු දෙමින්, “මා සේවය කරන සේනාංකවල ස්වාමින්වහන්සේ ජීවත් වන සේ ම, අද මම ආහාබ් ඉදිරියේ සැබවින් ම පෙනී සිටින්නෙමි” යි පැවසී ය.
එලියා හා බාල්-දිවැසිවරු
16එබැවින් ඔබදියා, ආහාබ් හමුවීමට ගොස්, ඔහුට ඒ වග දැන්වී ය. ආහාබ්, එලියා මුණගැසීමට ගියේ ය. 17ආහාබ්, එලියා දුටු කල, “ආ! ඉශ්‍රායෙල් කැලඹිලිකාරයා, මේ නුඹ දැ?” යි ඇසී ය.
18එලියා පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල් කැලඹුවේ මා නො වෙයි; එසේ කළේ නුඹයි, නුඹේ පියවංශයයි. ස්වාමින්වහන්සේගේ ආඥා අත්හැර, බාල් දෙවිවරුන් පසු පස ගියේ නුඹයි. 19දැන් මා මුණගැසෙන්නට ඉශ්‍රායෙල් දේශය පුරා සිටින ජනයා කර්මෙල් කන්දට රැස් කරවන්න. බාල් දෙවියාගේ දිවැසිවරුන් හාරසියපනස් දෙනා හා යෙසෙබෙල්ගේ මේසයේ කෑම කන අෂේරා දේවතාවිගේ දිවැසිවරුන් හාරසිය දෙනා ද කැඳවන්නැ” යි පැවසී ය.
20එවිට ආහාබ් ඉශ්‍රායෙල් පුරා පණිවුඩ යවා, ඒ දිවැසිවරුන් කර්මෙල් කන්දට එක් රැස් කරවී ය. 21එලියා ජනයා ඉදිරියට ගොස්, “නුඹලා තව කොපමණ කල් සිතුවිලි දෙකක් අතරේ වැනෙනවා ද? ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ නම්, උන්වහන්සේ අනුගමන කරන්න; බාල් දෙවියන්වහන්සේ නම්, ඔහු අනුගමන කරන්නැ” යි පැවසී ය.
එහෙත් ජනයා ඔහුට කිසි පිළිතුරක් දුන්නේ නැත.
22එවිට එලියා ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන්ගෙන් දැන් ඉතිරි ව සිටින්නේ මා පමණයි. එහෙත් බාල් දෙවියාට නම්, දිවැසිවරුන් හාරසියපනස් දෙනෙක් සිටිති. 23අපට ගොනුන් දෙදෙනකු ගෙනේවා. උන්ගෙන් එකකු ඔවුන් තෝරා ගෙන, ඌ කැබලිවලට කපා, දර පිට තබත්වා. එහෙත් ඊට ගිනි නො තබත්වා. මා අනෙක් ගොනා සූදානම් කර, දර පිට තබන නමුත්, ඊට ගිනි තබන්නේ නැහැ. 24නුඹලාගේ දෙවියන්ගේ නාමයෙන් නුඹලා කන්නලව් කරනු. මා, ස්වාමින්වහන්සේගේ නාමයෙන් කන්නලව් කරනවා. ගින්නෙන් ප්‍රතිචාර දක්වන දෙවියන් සැබෑ දෙවියන්වහන්සේ වන්නේ යැ” යි පැවසී ය.
එවිට මුළු ජනයා, “ඔබ කී දේ අගේ යැ” යි කීහ.
25එවිට එලියා බාල් දෙවියාගේ දිවැසිවරුන්ට කතා කොට, “නුඹලා බොහෝ දෙනකු නිසා ගොනකු තෝරා ගෙන, පළමුවෙන් එය පිළියෙල කරපල්ලා. ඉන්පසු නුඹලාගේ දෙවිවරුන්ගේ නාමයෙන් යාච්ඤා කරපල්ලා. ඒත් ඊට ගිනි නො තබල්ලා” යි පැවසී ය. 26ඔවුහු තමන්ට දුන් ගොනා රැගෙන, ඌ සූදානම් කළහ.
ඉන්පසු ඔවුහු උදය පටන් මද්දහන තෙක් බාල් දෙවියාගේ නමින් කන්නලව් කළහ. “අහෝ බාල් දෙවියනි, අපට පිළිතුරු දුන මැනව” යි ඔවුහු මොර ගැසූහ. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නො වී ය. පිළිතුරු දුන් කිසිවකු නැත. ඔවුහු තමන් සාදා තිබූ පූජාසනය වටා යමින්, නැටූහ.
27මද්දහනේදී එලියා ඔවුන්ට සරදම් කරන්නට පටන් ගත්තේ ය. “හඬ නගා මොරගසාපල්ලා. සැබවින් ම ඔහු දෙවි කෙනෙක! ඔහු කල්පනා කරමින් හෝ දොට්ට පිලට ගොසින් ඇති; නැති නම් ගමනක් ගොසින් විය හැකියි. ඇතැම් විට ඔහු නිදනවා ඇති; ඔහු අවදි කරවන්නට ඕනෑ” යි පැවසී ය. 28එබැවින් ඔවුහු උස් හඬින් මොරගෑහ. ඔවුහු තම චාරිත්‍ර ලෙස ලේ ගලන තුරු කඩුවලින් හා හෙල්ලවලින් තමන් ම කපා ගත්හ. 29මද්දහන ද පසු විය. සවස යාග පූජා ඔප්පු කරන වේලාව දක්වා ම ඔවුහු තමන්ගේ උමතු දිවැස් වැකි පැවසීමෙහි නිරත වූහ. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නො වී ය. කිසිවකු පිළිතුරු දුන්නේ නැත; අවධානය යොමු කළේ ද නැත.
30එවිට එලියා මුළු ජනයාට කතා කොට, “මා ළඟට එන්නැ” යි කීවේ ය. ඔවුහු ඔහු ළඟට ආවෝ ය. ගරා වැටී තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය ඔහු පිළිසකර කළේ ය. 31එලියා ගල් දොළොසක් ගත්තේ, “ඔබගේ නම ඉශ්‍රායෙල් වන්නේ යැ” යි යාකොබ් වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනය ලෙස ඔහුගෙන් පැවත ආ ගෝත්‍ර වංශ එකකට එක ගලක් බැගිනි. 32ඔහු ඒ ගල් ගෙන, ස්වාමින්වහන්සේගේ නාමයට පූජාසනයක් තනා, ඒ වටා බීජ නැළි#18:32 නැළියක් ලීටර් 7.3ක් පමණ වේ දෙකක් අල්ලන අගලක් කැපී ය. 33ඔහු දර පිළිවෙළට තබා, ගොනා කැබලිවලට කපා, දර පිට තැබී ය. ඉන්පසු ඔහු ඔවුන් අමතමින්, “විශාල භාජන හතරකට වතුර පුරවා, පූජාව පිටත්, දර පිටත් වත් කරන්නැ” යි කී ය. ඔවුන් එසේ කළ විට,
34“යළිත් එසේ කරනු” යි ඔහු කීවේ ය; ඔවුහු නැවතත් එසේ කළහ.
“තුන්වෙනි වරටත් එසේ කරන්නැ” යි ඔහු කී කල, ඔවුහු තුන් වන වරටත් එසේ කළහ. 35පූජාසනය වටේට වතුර ගලා ගියේ ය. අගල ද පිරුණේ ය.
36යාග පූජා වේලාවේදී දිවැසිවර එලියා ළඟා වී යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ ඔබ වගත්, මා ඔබේ සේවකයා වගත්, මා මේ සියල්ල කළේ ඔබගේ අණ පිට වගත් අද දවසේ දැනගනු ලැබේවා! 37මට පිළිතුරු දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වගත්, මේ ජනතාවගේ හදවත් යළි හරවා ගන්නේ ඔබවහන්සේ ම වගත් මොවුන් දැනගන්නා පිණිස, මට පිළිතුරු දුන මැනව” යි පැවසී ය.
38එවිට ස්වාමින්වහන්සේගේ ගින්න පතිත ව, යාග පූජාව, දර, ගල් හා පස් දවා ලූ අතර අගලේ තිබූ වතුරත් වියළවා දැමී ය.
39මුළු ජනයා ඒ දැක, මුණින් තලා වැටී, “ස්වාමින්වහන්සේ ම දෙවියන්වහන්සේ ය! ස්වාමින්වහන්සේ ම දෙවියන්වහන්සේ යැ!” යි මොර ගැසූහ.
40එවිට එලියා ඔවුන්ට අණක් දෙමින්, “බාල් දෙවියාගේ දිවැසිවරුන් අල්ලා ගනිව්; කිසි කෙනකුට බේරී යන්නට ඉඩ නො හරිව් යැ” යි කී ය. ඔවුහු ඔවුන් අල්ලා ගත්හ. එලියා කීෂොන් නිම්නය වෙත ඔවුන් ගෙනවුත්, එහිදී ඔවුන් මරා දැමී ය.
41එලියා, ආහාබ් අමතමින්, “ගොසින්, කන්න; බොන්න. මන්ද මහා වර්ෂාවක හඬ ඇසේ යැ” යි කී ය. 42එබැවින් ආහාබ් කන්නටත්, බොන්නටත් පිටත් ව ගියේ ය. එහෙත් එලියා කර්මෙල් කඳු මුඳුනට නැග, බිම නැමී, දෙදණ අතරේ තම මුහුණ තබා ගත්තේ ය.
43ඔහු තම මෙහෙකරු අමතමින්, “ගොස්, මුහුද දිසාව බලන්නැ” යි කීවේ ය. ඔහු ගොස්, බැලී ය.
“කිසිවක් පෙනෙන්නට නෑ” යි ඔහු කී ය.
එලියා, “නැවත යන්නැ” යි හත් වතාවක් කීවේ ය.
44හත්වෙනි වතාවේදී, “අන්න! මිනිසකුගේ අතක් වගේ කුඩා වලාකුළක් මුහුදින් නැගී එනවා” යි සේවකයා කීවේ ය.
එවිට එලියා, “යන්න, ආහාබ්ට කතා කොට, ‘වැස්ස ඔබ නතර කරන්නට කලින් රථය සූදානම් කර ගෙන යන්න’ කියා කියන්නැ” යි කීවේ ය.
45ඒ අතර අහස කළු වී, වලාකුළින් බර වී, සුළඟ ද හැමී ය. මහ වර්ෂාවක් කඩා හැලුණේ ය. ආහාබ් යෙස්රෙයෙල් වෙත රථයේ නැග ගියේ ය. 46ස්වාමින්වහන්සේගේ ආනුභාවය එලියා පිට පැමිණියෙන්, ඔහු තම ලෝගුව, තම ඉඟටිය දක්වා කැසපට ගසා, ආහාබ්ට පෙරටුව යෙස්රෙයෙල් දක්වා ම දිවුවේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in