YouVersion Logo
Search Icon

1 රාජාවලිය 17

17
එලියා දිවැසිවරයා
1ගිලියාද්හි පදිංචි ව සිටියවුන්ගෙන්#17:1 පදිංචි ව සිටියවුන්ගෙන් හෙවත් තිෂ්බේහි කෙනෙක් වූ තිෂ්බීය එලියා, ආහාබ් අමතමින්, “මා සේවය කරන, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මගේ වචනයෙන් ප්‍රකාශ කරන තෙක්, ඊළඟ අවුරුදු කීපය තුළ වැසි වසින්නේවත්, පිනි වැටෙන්නේවත් නැතැ” යි පැවසී ය.
කපුටුවන් හා කෑම
2එවිට ස්වාමින්වහන්සේගේ වචනය එලියා වෙත පැමිණියේ ය. 3“මෙහෙන් ඉවත් ව, නැගෙනහිර දෙසට හැරී, යොර්දාන් ගඟට නැගෙනහිරින් ඇති කෙරීත් ඔය ළඟ සැඟවී ඉන්න. 4ඔයෙන් වතුර බොන්න. එහිදී ඔබට කෑම දෙන්නට කපුටුවන්ට මා නියෝග කර ඇතැ” යි ඉන් පැවසිණි.
5එබැවින් ඔහු ස්වාමින්වහන්සේගේ වචනය පරිදි ක්‍රියා කළේ ය. ඔහු යොර්දාන් ගඟට නැගෙනහිරින් වූ කෙරීත් ඔය වෙත ගොස්, එහි නැවතී සිටියේ ය. 6කපුටුවෝ රොටි හා මස් උදයේ ද රොටි හා මස් සවස ද ඔහුට ගෙන ආහ. ඔහු ඔයෙන් වතුර බීවේ ය.
එලියා හා සාරෙෆත්හි වැන්දඹුව
7ටික කලකින් ඔය සිඳී ගියේ ය. ඒ, දේශයට වැසි නො ලැබුණු බැවිනි. 8එවිට ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණියේ ය: 9“දැන් නැගිට, සීදොන්හි සාරෙෆත් වෙත ගොස්, එහි නැවතී සිටින්න. ඔන්න, ඔබට ආහාර සපයන ලෙස එහි සිටින වැන්දඹු කාන්තාවකට මම අණ කළෙමි” යි ඉන් පැවසිණි. 10එබැවින් ඔහු නැගිට, සාරෙෆත් බලා ගියේ ය. ඔහු නගර දොරටුව වෙත ආ කල, මෙන්න, වැන්දඹු කතක් එහි දර එකතු කරමින් සිටියා ය. ඔහු ඇයට හඬ ගසා, “මට බොන්නට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ” යි ඉල්ලී ය. 11ඇය එය ගෙනෙන්නට යද්දී, යළි ඇය ඇමතූ ඔහු, “කරුණාකර මට රොටි කැබැල්ලකුත් ගෙන එන්නැ” යි පැවසී ය.
12ඇය පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා ළඟ ඇති රොටියක් නෑ, මුට්ටියක පිටි මිටකුත්, බඳුනක තෙල් ඩිංගකුත් මිස; මා මේ දර කැබැල්ලක් දෙකක් එකතු කළේ ගෙදර ගෙන ගොස්, මටත්, මගේ පුතුටත් කන්නට යමක් හදාගෙන, අප ඒවා කා ඊට පස්සෙ මැරෙන්නයි” කීවා ය.
13එවිට ඇය ඇමතූ එලියා, “භය වන්න එපා; ගෙදර ගොස්, ඔබ කී විදියට කරන්න. එහෙත් ඔබට ඇති දෙයින් පළමුවෙන් මට කුඩා රොටියක් සාදා, මට ගෙනැවිත් දෙන්න; ඉන්පසු ඔබටත්, ඔබේ පුතාටත් සාදා ගන්න; 14මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘ස්වාමින්වහන්සේ දේශය පිටට වර්ෂාව එවන දවස දක්වා, මුට්ටියේ පිටි ඉවර වන්නේවත්, බඳුනේ තෙල් අඩු වන්නේවත් නැතැ’ යි” කීවේ ය.
15ඈ ගොස්, එලියා ඇයට කී ලෙස කළා ය. එසේ එලියාටත්, ඇයට හා ඇගේ පවුලටත් දිනපතා ආහාර තිබුණේ ය. 16මන්ද එලියා මගින් පවසන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව මුට්ටියේ පිටි ඉවර වුණේවත්, බඳුනේ තෙල් අඩු වුණේවත් නැත.
17කලකට පසු, ගෙදර ස්වාමි දූ වූ ඒ කාන්තාවගේ පුත්‍රයා රෝගී විය. ඔහුගේ රෝගය වඩ වඩා උත්සන්න වී, අන්තිමේදී ඔහුගේ හුස්ම ගැනීම පවා නැවතිණි. 18ඈ එලියා අමතා, “අහෝ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, මට ඔබෙන් ඇති කාරිය කිම ද? ඔබ ආවේ මගේ පාපය සිහි කරන්නටත්, මගේ පුතු මරන්නටත් දැ?” යි ඇසුවා ය.
19එවිට එලියා, “ඔබේ පුතු මට දෙන්නැ” යි කියා, ඇගේ අතින් පුත්‍රයා ගෙන, තමා නැවතී සිටි උඩු මහල් කුටියට ඔසවාගෙන ගොස්, තම සයනය මත දිගා කරවී ය. 20ඉන්පසු ඔහු ස්වාමින්වහන්සේට මොර ගසමින්, “අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මා නවාතැන් ගෙන සිටින මේ වැන්දඹු කාන්තාවගේ පුත්‍රයා මරණයට පත් කිරීමෙන් ඔබ ඇය පිටට විපත්තිය ගෙනා සේක් දැ?” යි මොර ගැසී ය. 21ඉන්පසු ඔහු තුන් වරක් දරුවා පිට දිගා වී, “අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මේ දරුවාගේ ජීවය යළි ඔහු තුළට පැමිණෙවුව මැනව” යි ස්වාමින්වහන්සේට මොර ගැසී ය.
22 ස්වාමින්වහන්සේ එලියාගේ මොර ගැසීම ඇසූ සේක. දරුවාගේ ජීවය ඔහු තුළට හැරී ආයේ ය. ඔහු යළි ප්‍රාණවත් විය. 23එලියා දරුවා ඔසවාගෙන, උඩු මහල් කාමරයේ සිට නිවස තුළට අවුත්, දරුවා ඔහුගේ මවට බාර දී, “මෙන්න ඔබේ පුතු ජීවත් ව සිටිනවා” යි කීවේ ය.
24එවිට එම කාන්තාව එලියා අමතමින්, “ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයකු වගත්, ඔබගේ මුඛයෙන් පැමිණි ස්වාමින්වහන්සේගේ වචනය සත්‍ය වගත් දැන් මම දනිමි” යි කීවා ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in