YouVersion Logo
Search Icon

1 ලේකම් 29

29
දේව මාලිගය ඉදිකිරීමට ගෙනා තෑගි-පඬුරු
1ඉන්පසු දාවිත් රජු මුළු සමූහයාට කතා කොට, “දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ එක ම තැනැත්තා වන මගේ පුත් සාලමොන් තරුණ ය; පලපුරුද්දෙන් අඩු ය. එහෙත් මේ කාරිය අති මහත් ය. මන්ද මේ මාලිගාව මනුෂ්‍යයා සඳහා නො ව දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උදෙසා ය. 2එහෙයින් මම, මගේ දෙවියන්වහන්සේගේ ගෘහය සඳහා මට හැකි උපරිමයෙන් රන් වැඩට රන්, රිදී වැඩට රිදී, ලෝකඩ වැඩට ලෝකඩ, යකඩ වැඩට යකඩ, ලී වැඩට ලී හා ඔබ්බන පිණිස ගෝමේද, අඤ්ජන, නා නා වර්ණ මැණික්, සියලු ආකාර අනර්ඝ ගල් හා කිරිගරුඬ බොහෝ සේ සූදානම් කළෙමි. 3තවද මේ ශුද්ධ ගෘහය උදෙසා මා සූදානම් කළ සියල්ලට අමතරව මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට ඇති මගේ ළැදිකම නිසා මම, මගේ ම වස්තුව වන රන් හා රිදී දැන් මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන්නෙමි: 4ඕෆීර්හි රත්තරනින් රන් තලෙන්ත තුන්දහසක්#29:4 මෙට්‍රික් ටොන් 100ක් පමණ. හා පිරිපහදු රිදී තලෙන්ත හත්දහසක්#29:4 මෙට්‍රික් ටොන් 235ක් පමණ. ය. ඒ, ගෘහයේ බිත්ති ආලේප කිරීම සඳහා ද 5රන් වැඩට රන්, රිදී වැඩට රිදී ලෙස ශිල්පීන්ගේ අතින් කළ යුතු සියලු වැඩ ද සඳහා ය. අද දවසේ කැමැත්තෙන් තමන් ම ස්වාමින්වහන්සේට කැප කර ගන්නේ කවුරුන් දැ?” යි ඇසී ය.
6ඉන්පසු පියවංශ නායකයෝ ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ප්‍රධානීහු ද දහසේ හා සියයේ සෙන්පතීහු ද රජුගේ සේවා-කටයුතු බාර ව සිටි නිලධාරීහු ද 7දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ සඳහා රන් තලෙන්ත පන්දහසක් හා රන් දරික් දස දහසක්#29:7 කිලෝග්‍රෑම් 84ක් පමණ. ද රිදී තලෙන්ත දස දහසක්, ලෝකඩ තලෙන්ත දහඅට දහසක්#29:7 මෙට්‍රික් ටොන් 610ක් පමණ. හා යකඩ තලෙන්ත සිය දහසක්#29:7 මෙට්‍රික් ටොන් 3,400ක් පමණ. ද දුන්හ. 8අනර්ඝ ගල් ඇති හැම කෙනෙක් ම ඒවා ගෙර්ෂොනීය යෙහීයෙල්ගේ භාරකාරත්වය යටතේ, ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාරයට දුන්හ. 9ඔවුහු ඒවා කැමැත්තෙන් පූජා කළ නිසා ජනයා ප්‍රීති වූහ. මන්ද ඔවුහු ස්වාමින්වහන්සේට එසේ දී තිබුණේ මුළු හදවතින් ම ය. නො මසුරු ව ය. දාවිත් රජු ද මහත් සේ ප්‍රීති වූයේ ය.
දාවිත්ගේ අයැදුම
10එබැවින් දාවිත් මුළු ජන හමුව ඉදිරියේ ස්වාමින්වහන්සේට ආශිර්වාදය පුද කළේ ය:
“අහෝ ස්වාමින්වහන්ස,
අපගේ පිය වූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස,
සදාතනයෙන් සදාතනයට ඔබ ආශිර්වාදිත ය;
11අහෝ ස්වාමින්වහන්ස, උත්තම භාවය හා බලයත්,
තේජෝ මහිමය, ජයග්‍රහණය හා රාජශ්‍රීයත් ඔබගේ ය.
මන්ද ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ඔබගේ ය.
රාජ්‍යයත් ඔබගේ ය. අහෝ ස්වාමින්වහන්ස,
ඔබ හිස මෙන් සියල්ලන්ට උසස් ව සිටින සේක.
12වස්තුව හා ගෞරවය පැමිණෙන්නේ ඔබ වෙතින් ය.
සියල්ල පාලනය කරන්නේ ඔබ ය;
බලය හා පරාක්‍රමය ඔබ අතේ ය.
සැමට ශ්‍රේෂ්ඨත්වය හා ශක්තිය සලසා දෙන්නේ ඔබ අතින් ය.
13එබැවින් අපගේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති පුදන්නෙමු.
ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසා කරන්නෙමු.
14“එහෙත් මෙසේ ත්‍යාගශීලී ව දෙන්නට හැකි වූ මා කවුරුන් ද? මගේ ජනතාව කවරහු ද? මන්ද සියල්ල පැමිණෙන්නේ ඔබ වෙතිනි. අප ඔබට දී ඇත්තේ ඔබ වෙතින් ම පැමිණෙන දෙයිනි. 15අපේ පියවරුන් සියල්ලන් මෙන් ඔබගේ ඇස් හමුවේ අප ආගන්තුකයින් හා තාවකාලික පදිංචිකරුවන් ය. මිහි මත අපගේ දවස් සෙවණැල්ලක් වැනි ය. දිගට ම පැවැත්මක් නැත. 16අහෝ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධ නාමය උදෙසා ඔබට ගෘහයක් තනන්නට අප සූදානම් කළ මේ සියල්ල පැමිණෙන්නේ ඔබ අතින් ය. ඒ සියල්ල ඔබගේ ය. 17මගේ දෙවියන්වහන්ස, ඔබ හදවත සෝදිසි කරන වගත්, අවංකකමට ප්‍රියවන වගත් මම දනිමි. මා මේ සියල්ල දුන්නේ මගේ ම කැමැත්තෙන් හා අවංකකමිනි. එසේ ම දැන් මෙහි සිටින ඔබගේ ජනයා ස්ව-කැමැත්තෙන් ඔබට දුන් වග දැන් මම ප්‍රීතියෙන් යුතු ව දුටිමි. 18අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියවරුන් වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවියන්වහන්ස, මේ අරමුණු හා සිතුවිලි ඔබගේ ජනයාගේ හදවත්වල සදහට ම තැබුව මැනව. ඔවුන්ගේ හදවත් ඔබ වෙත යොමුකරගත මැනව. 19මගේ පුත් සාලමොන් මුළු හදින් ම, ඔබගේ ආඥා ද ඔබගේ පනත් හා නියෝග ද රක්ෂා කරන පිණිසත්, ඒ සියල්ල පිළිපදින පිණිසත්, මා සපයා දී ඇති ලෙස එම මාලිගාව ඉදිකරන පිණිසත් ඔහුට වර දුන මැනව” යි පැවසී ය.
20ඉන්පසු දාවිත් රැස් වූ සමස්ත ජන සමූහයා අමතමින්, “ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නැ” යි පැවසී ය. එසේ ඔවුන් සියල්ලෝ ම තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා කළහ. ඔවුහු ස්වාමින්වහන්සේ ද රජු ද ඉදිරියේ හිස් නමා, ගෞරව ප්‍රණාම දක්වා, ස්වාමින්වහන්සේට පූජා ඔප්පු කළහ.
සාලමොන් රජු හැටියට පත් කරනු ලැබීම
21ඊළඟ දවසේ ඔවුහු ස්වාමින්වහන්සේට දවන යාග පූජා ලෙස ගොනුන් දහසක් ද එළුවන් දහසක් ද බැටළු පැටවුන් දහසක් ද සමඟ ඒවායේ පාන පූජා ද මුළු ඉශ්‍රායෙල් උදෙසා බොහෝ වූ යාග පූජා ද ඔප්පු කළහ. 22ඔවුහු ඒ දවසේ ස්වාමින්වහන්සේ ඉදිරියේ මහා ප්‍රීතියෙන් යුතු ව කෑවෝ ය; බීවෝ ය.
ඉන්පසු ඔවුහු දාවිත්ගේ පුත් සාලමොන් දෙවන වරටත් රජු හැටියට පත් කොට, ඔහු පාලකයා ලෙස ද සාදෝක් පූජකයා ලෙස ද ආලේප කළහ. 23එවිට සාලමොන් තම පියා වූ දාවිත් වෙනුවට රජු වශයෙන් ස්වාමින්වහන්සේගේ සිංහාසනයේ හිඳ ගත්තේ ය. ඔහු සඵලවත් විය. සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට කීකරු වූහ. 24සියලු නිලධාරීහු ද බලවත් මිනිස්සු ද දාවිත් රජුගේ පුත්‍රයින් සැවොම ද සාලමොන් රජුට පක්ෂපාතීත්වය ශපථ කළහ.
25 ස්වාමින්වහන්සේ මුළු ඉශ්‍රායෙල්ගේ ඇස් හමුවේ සාලමොන් ඉතා උසස් කොට, ඔහුට පෙර ඉශ්‍රායෙල්හි සිටි කිසි ම රජකුට නො වූ විරූ රාජශ්‍රීයක් ඔහුට පිරිනැමූ සේක.
දාවිත්ගේ මරණය
26යෙස්සේගේ පුත්‍ර දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කළේ ය. 27ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි අවුරුදු හතළිහක් රජකම් කළේ ය. අවුරුදු හතක් හෙබ්‍රොන්හි ද අවුරුදු තිස්තුනක් යෙරුසලමෙහි ද ඔහු රජකම් කළේ ය. 28පරම ආයු විඳ, වස්තුව හා ගෞරවය භුක්ති විඳ ඔහු හොඳ මහලු වියේදී මිය ගියේ ය. ඔහුට පසු ඔහුගේ පුත් සාලමොන් ඔහු වෙනුවට රජ විය.
29දාවිත් රජුගේ ක්‍රියා මුල පටන් අවසානය දක්වා සියලු විස්තර අනාගතවක්තෘ සාමුවෙල්ගේ ද දිවැසිවර නාතාන්ගේ ද අනාගතවක්තෘ ගාද්ගේ ද ඉතිහාස වාර්තා පොත්වල සඳහන් ය. 30තවද ඔහුගේ රාජ්‍යය හා බලය පිළිබඳ සියලු කරුණු ද ඔහු පිටත්, සියලු ඉශ්‍රායෙල්වරුන් පිටත් අන් සියලු දේශවල රාජ්‍යයයන් පිටත් පැමිණි සිද්ධීන් ද එහි ඇතුළත් ය.

Currently Selected:

1 ලේකම් 29: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in